ඒක ඉතිහාසයේ ලෙයින් සහ කළු දුමෙන්ම වසා දැමුනු මාසයක්

කොළඹ ගිනි ගත්තේ ය. ඒ ගින්න ක්‍රමයෙන් රටේ සෑම තැනකටම අඩුවැඩි වශයෙන් පැතිර ගියේ ය. ඒ ගින්නේ ගිනි පුපුරු මෙරට ලක්ෂ ගණනකගේ ජීවිත හා දේපල අහිමි කරවමින් අවසන මහා සංහාරයකින් නිමවෙන බව ඒ යුගයේ ජීවත් වූවන් යාන්තමින් හෝ නොසිතුවේ මන් ද? එසේ වනු ඇති බවට දැනසිටි ස්වල්ප දෙනෙකුගේ ප්‍රගතශීලි මැදිහත්වීම්වලට පවා එකල බහුතරය කන් නුදුන්නේ මන්ද? 

තැනින් තැන අවිධිමත් මාර්ග බාධක ය. අවිධිමත් ප්‍රශ්න කිරීම් ය. 

“බාල්දිය කියපිය...,? කෝ ගනින් බලන්න අයිඩෙන්ටිය...,? අර කෙරවලේ ඉන්න එකීගේ නළලේ පොට්ටුවක් තියෙනවා නේද..,?”

සිංහල ජාතිකානුරාගය ඉස්පොල්ලේ යෑම නිසාවෙන්, 

මහමග පහර දී මරා දැමුනු, ගිනි තබා මරා දැමුනු, දස වදදී මරා දැමුනු, දෙමළ වැසියන් රාශියක්. 

ඔවුන්ගේ ගිනිගෙන දැවෙනා දේපල සහ වත්කම් සොරාගනු ලබන මැරයින් සමූහයක්.

මේ මහා ම්ලේච්ඡත්වයට එකඟ නොවුවත් එයට විරුද්ධව හඬ නඟන්නේ නැතිව සිටින බහුතරයක්,

ඒ මැද තම අසල්වැසි දෙමළ මිතුරාව ආරක්ෂා කරන සිහලුන් ස්වල්පයක්.

ඒක ඉතිහාසයේ ලෙයින් සහ කළු දුමෙන්ම වසා දැමුනු මාසයක්.

කොතරම් කවි ලියුවත්, ලිපි ලියුවත්, කතා නවකතා ලියුවත්, ලියා නිමකළ නොහැකි කෙරවලක් නැති ම්ලේච්ඡත්වයක්. 

එයට තවමත් උදම් අනන්නා වූ බහුතරයක් සිටිනා ජන සමාජයක්. 

සදාකාලිකවම සංවර්ධනය වෙමින් පවතිනා වු රටක් වීම පුදුමයක් ?  

නෑ.., පුදුමයක් නොව එය විය යුත්තක්.


(අහසට දමා ගැසූ කවි)

නිලංක ඇලෙක්සැන්ඩර්




Comments

  1. ජාතිවාදී හැඟීම් මිනිසුන්ගේ සිත් තුළ තියෙන තාක් කල් රටක් සංවර්ධනය වීම හීනයකි..එය සැබෑවකි..

    ReplyDelete

Post a Comment