சூர்ய மரத்தின் தீர்ப்பு - සූරිය මර්තීන් තීප්පු - (සූරිය ගසක තීන්දුව)

 දෙමළ පරිවර්ථනය උදෙසා සටහනක්. 

මිනිස් චිත්ත අභ්‍යන්තරයේ හට ගනු ලබන ආදරය, විරහාව, ලිංගිකත්වය සහ පළිගැනීම යන අතීශය සංකීර්ණ මනෝභාවයන් පුද්ගලානු  බද්දවම පවතින්නක් නොවේ. ඒවා  අප ජිවත්වන භාහිර සමාජ, දේශපාලන සංස්කෘතික සාධකත් සමගින් අනුලෝමව බැඳී පවති. එබැවින් අප විසින් ගනු ලබන තීන්දු තීරණ සෑම විටම රැදි පවතින්නේ ද මේ දයිලෙක්තිකය මතය. 

ඉරිතැළෙමින් යන ධනේෂ්වරයේ අවසන් කාර්තුව විසින්  ඔවුනට සමපාත නොවන වෙනත් දෘෂ්ටිවාදයන් තම බිමේ පැළවීම වළකාලනු වස් විවිධාකාර ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. ඒ අතරින්  විවිධ රටවල දේශපාලන පාලන තන්ත්‍රයන් තමනට වුවමනා ආකාරයෙන් වෙනස් කරවීම් ඒ අතරින්  ප්‍රධානයි. 

මෙතෙක් කලක් ධනේෂ්වරය ධනේෂ්වරය ලෙසින්ම තම ඒජන්ත පක්ෂ සහ කණ්ඩායම් මඟින් සෘජුවම පෙනී සිටිය ද මෑතක සිට ධනේෂ්වරය සමාජගත වන්නේ, පෙනී සිටින්නේ සමාජවාදය, සමාජ සාධාරණය නැමැති අලංකාර තීන්තාලේපය සහිත වෙස් මුහුණත් සමඟිනි. 

ලාංකීය භූමියේ පසුගිය දිනවල සිදුවූ සහ සිදුවෙමින් පවතින දේශපාලන රැලි සහ වෙනස් වීම් එයට හොඳම උදාහරණයක්. 

ධනපති සමාගම් කිහිපයක් විසින් තම අනාගත පැවැත්ම උදෙසා අප වැනි දුප්පත් දූපත් රාජ්‍ය තුළ තම ධනයෙන්  ස්වල්පයක් වපුරා විකෘත ජනමත නිර්මාණය කරනු  ලබයි. ක්‍රමයෙන්  එය සයිබර් අවකාශය ඔස්සේ රැල්ලක් බවටද පත් කරවයි.අවසානයේ එය ජනසමාජයේ සිය`ඵම ස්ථරයන් තම මතයට නතු කරගනු ලබයි. මේ නතු කර ගැනීමේ ආසන්නතම ප්‍රථිපලය පසුගිය මැතිවරණයේදි  ලාංකීය දෙමළ ප්‍රජාවගේ ඡන්ද හැසිරීමෙන් පෙන්නුම් කරයි. 

ඔවුන්  ඉතිහාසයේ ප්‍රථමවරට සිංහල නායකයෙකු සහ පක්ෂයක් කෙරෙහි තම විශ්වාසය පළ කර තිබේ. මෙම හැසිරීම කෙරෙහි උන්මාදයට පත්ව සිටින බහුතරයක් සිංහල ස්වෝත්තමවාදීන් විසින් දීර්ඝකාලයක් මුලුල්ලේ සිංහලයින්  විසින් අහිමිකරවමින්, ම්ලේචඡ ලෙස මර්ධනය කරමින් ගිය දෙමළ ජනසමාජයේ අයිතීන් දිනාගැනීමේ දෙමළ අරගලය මේ සමඟින්ම නිමව ඇතැයි උදම් අනයි. ඇත්තටම සිදුව ඇත්තේ එයද ? නැත. මා මුලින් පැහැදිලි කලා සේ ධනපති සමාගම් කිහිපයක් විසින් තම වුවමනාවන් උදෙසා ලාංකීය භූමිය මත දියත් කරනු  ලැබු ඒ  දේශපාලන රැල්ලේ කොටස්කාරයන් බවට දෙමළ ජනතාවද නතුව තිබීම එයට හේතුවයි.

 එබැවින් මේ පවතින ධනේෂ්වර රටාව තුළ පුද්ගලානු බද්ද ස්ව තීරණයැයි කොටස් කර වෙන් කර පෙන්විය හැකි කිසිවක් නැත. ඒවා  නිසැකවම භාහිර දේශපාලන සමාජීය හැසිරීම් සමඟින් එකට බැඳී පවතියි.

 අහසට දමාගැසූ කවි කෙටිකතා තුළින් කියා පෑමට උත්සහ දරන්නේද මෙම දේශපාලන හැසිරීමයි. 

සිංහල භාෂාවෙන් රචිත අහසට දමා ගැසු කවි කෙටිකතා මෙරට යුක්තිය ඉල්ලා දීර්ඝකාලීන  දේශපාලන අරගලයක නිරතවන දෙමළ ජනයාගේම බසට පරිවර්තනය විම කෙරෙහි මා තුළ ඇත්තේ අපිරිමිත සතුටකි. ඒ සඳහා මූලිකව කටයතු කළ සම්මානලාභි දක්ෂ පරිවර්ථකයකු වන රිෂාන් ෂරීෆ් සහෝදරයාට මාගේ හෘදයාංගම ආචාරය පුද කරන්නට කැමැත්තෙමි. එසේම මුල සිටම මේ කෙටිකතා සම්බන්ධයෙන්  තම විවෘත අදහස් ඉදිපත් කරවමින් මා දිරිගැන් වූ ප්‍රවීණ ලේඛිකා ආචාර්ය තක්ෂිලා ස්වර්ණමාලි සොහොයුරියටත්, සිංහල පොතේ අලංකාරවත් පිටකවරය සකස් කර දුන් චරිත කැලුම් හේවගේ සොහොයුරාටත්, සිංහල පොත ප්‍රකාශයට දායක වු ප්‍රියන්ත ගමගේ සොහොයුරාටත්, තරින්ද්‍ර ඇල්විටිගල සොහොයුරාටත් මාගේ හෘදයාංගම ආචාරය පුද කරමි. 


නිලංක ඇලෙක්සැන්ඩර්

2024 නොවැම්බර් 19 දින.

බංගලාවත්ත, ගෝණමඩිත්ත පාර,

පිළියන්දල. 







Comments

Popular Posts