කොළඹ දොලහේ හරිත වනය.
වේලාව දහවල් දෙකයි ස්ථානය කොළඹ 12 වේල්ලවීදීයයි. තුරුපතරින් සෙවන සළන ගස්කොලන් රැසකින් සමන්විත නටබුන් පරිසරයක සිසිලස විදින මාහට විවිධාකරයේ මල් ගොමු වෙතට පියමන් කරමින් රෝන් උරණ සමනලුන්ගේ දර්ශනය ඇසට අපමණ අසවැසිල්ලක් ගෙනදෙයි.
මා ස්වප්නයක සිරවී ඇතැයි ඔබට සිතෙනවා ඇති. ඇත්ත ගිනිගහන මධ්‍යහනයේ කොළඹ 12 පිටකොටුව කිවු සැනින් අපට සිහියට එන්නේ දුහුවිල්ලෙන් වැසිගිය වාහන දුමාරය පිරුණු එකිනෙකාගේ ඇගේ හැපෙමින් එහා මෙහා යන මිනිසුන්ගෙන් සමන්විතවූ අධික කළබලකාරි ජනාකීර්ණ පරිසරයක්. ඔබ මේ දැන් කොළඹ වේල්ල වීදියට ගියත් ඔබට අත්විදින්නට වෙන්නේ එවැනි ජනාකීර්ණ පරිසර පද්ධතියක්ම බව නිසැකයි. එසේනම් මා විසින් පෙර සදහන් කලේ මා මනසේ රැදි හිතළුවක්ම පමනයිද? නැත, එය මනසේ ඇදි හිතළුවක් නම් නොවේ. එය ඇත්තම ඇත්තකි. මේ අලංකාර පරිසර පද්ධතිය ඇත්තේ කොළඹ වේල්ල වීදියේ ඉපැරණි කච්චේරිය ගොඩනැගිල්ල තුලයි. ? .
කච්චේරියක් තුල රූස්ස ගසින් පිරි සමලුන් ගැවසෙන පරිසර පද්ධතියක් ? අනෙක කොළඹ මැද ? අමුම අමු කොළඹ මැද ?
ඔව්. ඔබට මතකද මීට වසර 8කට පමණ පෙර ගිනිගත් ? කොළඹ ඉපැරණි මහ කච්චේරිය ගොඩනැගිල්ල. එදා ඒ මහ ගින්නට නතුවු ඒ මහ සුවිසල් ගොඩනැගිල්ල මෙදා දකින කාහටත් එක් වරම මතකයට නැගෙන්නේ අනුරාධපුරයේ පොලොන්නරුවේ ඉපැරැණි නටබුන් බවට නම් සැකයක් නැත.
වසර සියයකට වඩා ඉපැරණි මේ ගොඩනැගිල්ල ඒදවස ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයට ගොඩ නංවා ඇති සුවිසල් කබොක්ගල් බිත්ති සහ ඊටම සරිලන ලෙසින් සදා තිබුනු විශාල ආරුක්කු සහ දැවන්ත ලී උළුවහුවලින් සමන්විත දොර ජනේලවලින්ද යුතු ඉපැරැණි ගොඩනැගිල්ලක් වූ අතර එකල මෙහි තිබු සුවිශේෂිම නිර්මාණය වූයේ තනි දැවයෙන් සාදා නිම කර තිබු අලංකාර ඉපැරැණි පඩිපෙල සහ ඉහලමාලයයි. මෙවන් සුවිශේෂි වටිනාකමකින් පිරි මේ සුවිසල් ගොඩනැගිල්ල හිටිවනම ගිනිගත්තේය. ඒ පිළිබදව ජනමාධ්‍ය විවිධාකාරයේ හේතු සපයමින් තොරතුරු වාර්ථා කලේය. ගිනිගත්තාද ? ගිනි තැබුවාද ? යන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරවමින් වසර සියයකට වඩා ඉපැරැණි කච්චේරිය ගොඩනැගිල්ල ගොළුවත සපුරමින් නිහඩ ලෝකයක ගිලී ගියේය.
ඒ මහා ගින්නෙන් කච්චේරිය ගොඩනැගිල්ල සිවිල් මානව අවශ්‍යතා ඉටුකරන කාර්යයෙන් සදහටම විශ්‍රාම ගනු ලැබුවද එය මිනිස් මැදිහත්වීම්වලින් තොර තවත් ජීවින් රැසකට ජීවය සපයන ඉතා අපුරු පරිසර පද්ධතියක් බවට ඉතා කෙටි කලක් තුලදීම පරිවර්තනය විය.
මේ වන විට කච්චේරිය ගොඩනැගිල්ලේ ඉපැරැණි කබොක්ගල් බිත්ති මත සරුවට වැවී ඇති රූස්ස ගස් රැසකි. ඒ අතර විවිධ බෙහෙත් පැළෑටිද දැල්බටු, ජෑම් වැනි පළතුරු ගස්වලින්ද නම් ගම් හදුනාගත නොහැකි තවත් ශාක විශේෂ විශාල සංඛ්‍යාවක්ද දැක ගත හැකි අතර ඒ ශාක ආශ්‍රිතව තම ප්‍රජාව වර්ධනය කරගනු ලබන විවිධාකාර සත්ව කොට්ටාෂයන්ද මෙහි බහුලව දැක ගත හැකිය. ඒ අතර විවිධ වර්ණයන්ගෙන් සමන්විත සමනලුන් සහ ඔවුන්ගේ ජීවන චක්‍රයට අයත් වන දළඹුවන් සහ සමනල් කෝෂද පළතුරු සහ කැලෑ ගස්වල ගෙඩි ආහාරයට ගැනීමට පැමිනෙන විවිධාකාරයේ පක්ශීන්ගෙන්ද මේ ගොඩනැගිල්ලේ අභ්‍යන්තර පරිසර පද්ධතිය පොහොසත්ය.
එසේම දිරාගිය සුවිසල් උළුවහු කදන් අභ්‍යන්තරයේ ඇති ගුහා තුල සකසා ගත් මීමැසි ජනපද කිහිපයක්ද මේ දිනවල දැක ගත හැකියි.
ඉතින් මෙවැනි රුක් ගොමුවලින් අඩුවක් නොමැති පරිසර පද්ධතියක උරග විශේෂ නොමැති නම් එය පුදුමයකට කරුනක් විය යුතුයි. නමුත් මේ ගෙවිගිය වසර අට නවය ඇතුලත නම් එම සතුන්ගේ දශ්ට කිරිමක් හෝ මෙහි ජීවත්වන එම කෘමි විශේෂයන්ගෙන් මිනිසුන්ට කිසිදු හානියක් සිදුවු බවට නම් වාර්ථා නොවේ. සිදුවන එකම දෙය නම් අහම්බෙන් හෝ එවැනි සතෙකු දුටුවිට ඇති වන අනිසි බිය සහ කලබලයම පමනි.
මීට වසර හතරකට පමන පෙර සාරවත්ව පෝෂණය වී තිබු මේ කච්චේරිය ගොඩනැගිල්ලේ අපූරු පරිසර පද්ධතිය කපා කොටා විනාශකර තණකොල පැලයකුදු ඉතිරි නොවන්නට සුද්දකර දමන ලදි. එදවස මෙහි විසු ගැරඩීන් වැනි උරග විශේෂ යන එන මං නොමැතිව අවට සිටින අයවද බියට පත්කරමින් තම ජීවිත රැකවරණය පතා ඒ මේ අත ඇදි ගිය සැටි මා බලා සිටියේ මේ මහා ගිනි ගහන නගරයක් මැද අහම්බයකින් මෙන් බිහි උන මේ අපූරු පරිසර පද්ධතිය විනාස කරන්නේ ඇයිද යන කනස්සළු සිතුවිල්ලෙනි.
කෙසේ නමුත් මිනිස් ක්‍රියාකාරකම් සියල්ලටම වඩා ඉහලින් ස්වභාදහම සිටිනවාය යන කීම පසක් කරමින් අළු ලෙස දැවිගිය ගොඩනැගිල්ලේ බිහි වූ ඒ පරිසර පද්ධතිය කපා කොටා විනාශ කිරීමෙන් වසර හතරක් පමන වන අද දවසේ නැවතත් ඒ රුක්ගොමුවලින් සුසැදි සමනලුන් පක්ශීන් විවිධ කෘමි විශේෂ සහ සතුන්ගෙන් පිරි ඒ අපූරු පරිසර පද්ධතිය යලි පණ ගසා නැගිට තිබේ.
රැදෙන්නට ඉඩක් නොමැති බව දැන දැනම දළුපත් ලියලන තාප්පයක් මත පැළවුන බෝ පැලයක් සේ කොයි මොහොතේ හෝ සංවර්ධනයේ පිහි පහරට නතුවන බව දැන දැනම මේ අපූරු වෘක්ෂලතාවනුත් අතුපතර විහිදි දිනෙන් දිනම වර්ධනය වෙයි. වානිජ්‍ය නගරයක හරි මැද සුවිසල් මූල්‍යමය වටිනාකමකින් පිරි භූමියක්වන කච්චේරිය ගොඩනැගිල්ල කොයි මොහොතේ හෝ ගනුු ලබන තීරණයක් මත කුමන හෝ සංවර්ධන කටයුත්තක් උදෙසා පවරා ගනු නිසැකය. එදිනට මෙම පරිසර පද්ධතිය මතකයක්ම වනු නියතය. මේ සටහන එදිනට පෙර ඒ අපූර්වත්වයෙන් ඔබ අවුස්සාලනු පිණිසය.
✍️ නිලංක ඇලෙක්සැන්ඩර් ( Alex )
2022 ජූලි
Alex...!
ReplyDelete