Neelira හෙවත් දිගු රාත්‍රියක කතාවක්
ඒක චිත්‍රපටයක්. අවසානයේ සියල්ලෝම දුක සිත්හි තද කරගෙන සතුටින් විසිර ගියහ, යන පාඨය සිහිවෙන ආකාරයේ චිත්‍රපටයක්. එය පදනම් කරගෙන ඇත්තේ සත්‍ය සිදුවීමක් වන නිසාවෙන් සැබෑ ජීවිතයේ එවැනි බිහිසුනු ම්ලේච්ඡ වකවානුවක ඒ ආකාරයේ දුක සගවාගෙන වුව සතුටින් විසිර යා හැකි වීම පිළිබදව මිනිසුන් ලෙස අප සතුටු විය යුතුමය. මේ දෙමළ සිනමාකරු සොමිදරන්ගේ Neelira හෙවත් දිගු රැයක් චිත්‍රපටයයි. Neelira චිත්‍රපටය මේ වන විට ලොව පුරා සිනමාශාලා තුළ ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ. Neelira සොමිදරන්ගේ ප්‍රථම සිනමාගමනයයි. එය මෙරට සෑම ශ්‍රී ලාංකිකයකුම බලන්නේ නම් අගනේ යැයි පැවසිය හැකි දෙමළ චිත්‍රපටයකි.
මේ ගතවන්නේ 1988 වසරයි. ශ්‍රීලංකාවේ උතුරේ සාමන්‍ය ගම්මානයක මධ්‍යම පාංතික පවුලක විවාහ උත්සවයක් කේන්ද්‍රගත කරමින් කතාව දිව යයි. 1988 යනු මෙරට උතුර පමණක් නොව දකුණද එකලෙසම ගිණි ගෙන තිබු අවධියයි. උතුරේ දෙමළ සටන සේම දකුණේද තරුණ තරුණියන් සිංහල රාජ්‍යයට එරෙහිව අවිආයුධ අතට ගෙන සටන් කරනු ලැබු අවදියයි. ඒ සටන් පැවති රාජ්‍ය ත්‍රස්තවාදය මගින් නිළ සහ නොළිල ලෙසින් ඉතා ම්ලේච්ච ලෙසින් මර්ධනය කරනු ලැබු අවධියයි. මේ අවධිය තුළ උතුරේ දෙමළ සටන පාළනය කිරිම උදෙසා ඉන්දීය මැදිහත් වීම මත ඉන්දීය සාම සාධක හමුදා විසින් උතුරේ තම ක්‍රමය තුළ මර්ධනය දියත් කළ යුගයයි. එවැනි යුගයක මෙම චිත්‍රපටයට පාදක වන නිවැසියන්ගේ දියණියකගේ සාම්ප්‍රදායික දෙමළ විවාහයක් සිදුවීමට නියමිතයි.
පෙර පැවසූ ලෙසින් ඉන්දිය හමුදා තම ක්‍රමය තුළ උතුරේ දෙමළ වැසියන්ට මානසිකව සේම ශාරීරිකවද මර්ධනය දියත් කරමින් සිටියි. පෞද්ගලික උත්සවයක් වූ විවාහය උදෙසාද ඉන්දීය හමුදාවෙන් අවසරය ලබා ගැනීමට සිදුවෙයි. එසේම දකුණට ගෝනිබිල්ලා වූ උතුරට තලෛයාට්ටි වූ ඒ නොනිල මිනිසාගේ අසාධාරණ කාර්ය තුළ සාමන්‍ය වැසියන් අත්තඩංගුවට ගැනීම්ද සිදුවෙයි.
සොමිදරන් තම චිත්‍රපටය ආරම්භයේ සිට මේ මර්ධනකාරී පීඩාකාරී වට පිටාව තුළ වුවද ජීවිතය විදිමින් පැමිණි මේ මධ්‍යම පාංතික කුටුම්භයේ අනාගත බලාපොරොත්තු පිළිබදව අපූරුවට කතා කරනු ලබයි. එහිදි නිවසේ සිටින ගර්භණි යුවතිය, නැවුම් ප්‍රේමයක පැටලී සිටින තරුණයා සහ තරුණිය, කුඩා දරුවන්ගේ හැසිරීම් සේම දෙමළ සටන්කරුවන්ට නිවැසියන් ආහාර සැපයීම යන කාරණය තුළින්ද මේ වන විට දෙමළ සටන උතුරේ සාමන්‍ය වැසියන්ගේ ජන ජීවිතය සමග කෙතරම් බද්දව ඇතිද යන්න පිළිබදව ඉතා මැනවින් රූපරාමුවට හසුකර ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී තිබේ.
මෙහි ප්‍රථම හැරවුම් ලක්ෂ්‍යය වන්නේ මගුල් දිනයට පෙරදින රාත්‍රියේ සියලුම නිවැසියන් සතුටින් ප්‍රමුදිතව ඉන්නා විට මග වැරදීමෙන් නිවස වෙතට පැමිනෙන ඉන්දීය සාම සාධක හමුදා කණ්ඩායමයි. මෙතැන් පටන් චිත්‍රපටය අවසාන වනතෙක් සිදුවූ සිදුවීම් අධ්‍යක්ෂවරයා විසින් පෙළ ගස්වා ඇති ආකාරය පිළිබදව ලියුම්කරුට ඇත්තේ මිශ්‍ර අදහසකි.
පෙර කී පරිදි මේ යුගය ඉන්දීය හමුදා මැදිහත් වීමේ මර්ධනකාරි යුගයකි. එහෙත් මේ නිවසට අහම්බෙන් කඩා වදින හමුදා භට පිරිස් එලෙසම නැත. එහි එක් අයෙක් පමණක් දුෂ්ට සෙබළකු ලෙසින් බලහත්කාරයෙන් මෙන් අපට පෙන්වන අධ්‍යක්ෂවරයා කණ්ඩායමේ නායක කැප්ටන් ඉතා ප්‍රගතශීලි ආමිකාරයෙක් කර තිබේ. ඒ නිසාවෙන් රෑන්ක් එකෙන් පහළ දුෂ්ට සෙබලා අසරණ නිවැසියන්ට කොයි තරම් දුෂ්ටකම් කරන්න ගියත්, ‘නෑ ඒක එහෙම වෙන්නේ නෑ කැප්ටන් අපේ එකානේ,' යන අවිඥාන සිතුවිල්ල ප්‍රේක්ෂක සිත්හි තැම්පත් වීම නිරායාසයෙන්ම සිදුවෙයි.
එසේම නිවැසියන්ගේ ජේෂ්ඨතමයා දෙවන ලෝක යුද්ධයේ බ්‍රිත්‍රාන්‍ය හමුදාවත් සමග එකතු වී සටන් වැද ඇත්තේ පකිස්ථාන දේශසීමාවේදීයි, එහිදි ඉන්දියාව සහ පකිස්ථානය දෙකක් නොව එකක්ය යන ඇත්ත දේශපාලන කාරනාව මෙම සිනමා කෘථියේ ඇත්තට කොයි තරම් සාධාරණ වුවත් එය මේ මොහොතේදි අධ්‍යක්ෂවරයා ගෙන එන්නේ ඉන්දීය හමුදාවට තමන් කෙරෙහි ස්වානුකම්පිත හැගීමක් ගෙන දීමටය.
මෙම සිනමා කෘතිය අවසානයේදි ඉන්දීය හමුදා කැප්ටන් විසින් එම නිවසේ ජේෂ්ඨතමයා හට පවසන
‘මහත්මයා අපෙන් කරදයක් වුනානම් සමාවෙන්න.'
යන දෙබසට ඔහු දෙන පිළිතුර වන,
‘එහෙනං ඔයාලට අපේ හැම මනුස්සයෙක්ගෙන්ම මෙහෙම සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා.'
යන අර්ථය ඇති එම දෙබස හැර සමස්ථ කෘථිය තුළම අවිඥානිකව ගළායන දෘෂ්ටිවාදය වන්නේ ඉන්දියාව ෂේප් කරගැනීමේ සියුම් අදහසකි. එය මෙම නිවැසියන් දෙමළ අරගලයට සම්බන්ධ යැයි සැක සහිත කරුණු මෙහි දුෂ්ට සෙබලා විසින් පුන පුනා ඉදිරිපත් කරද්දිත් ප්‍රගතශීලි නායක කැප්ටන් ඒවා නොසලකමින් නිවැසියන්ට අඩම්තෙට්ටම් නොකර හිදීමෙන් පසක් වෙයි.
සිනමා කෘථීයේ ගළා යාමට පුංචි තල්ලුවක් දීමට දුෂ්ට සෙබලා විසින් නිවැසි එක් පිරිමියෙකුට පහර දෙයි. එපමණකි. ලියුම්කරු සිතුවේ ඒ සිදුවීම් නිසාවෙන් නිවැසියන් දෙදෙනෙක් වත් මරා දමයි කියායි. නමුත් ලියුම්කරුට අවශ්‍ය දේ අධ්‍යක්ෂවරයා කිසිදු විටක කළ යුතු නොවේ ඒ ඔහුගේ සිනමා කෘතියයි. ඒ ඔහුගේ දැක්මයි.
Neelira සිනමා පටයේ අවසන් හැරවුම් ලක්ෂ්‍ය තුළින් ගෙන එනු ලබන මනෝ ව්‍යාධියෙන් පෙළෙන වෛද්‍ය කාන්තාවද දෙමළ සටනට දායකත්වය ලබා දෙන ඇය හැරගිය පෙම්වතාගේ පෙම් පුවතද සාම්ප්‍රදායික දෙමළ සිනමාවේ දකින්නට ලැබෙන තීරණාත්මක මොහොතක එක්වරම මතකය අලුත් වී මතුවෙන ආදර කතාවකි. සිනමා කෘතියේ සත්‍ය මහා දේශපාලන ගැටුම අවසන් කරන්නේද ඒ රෝමාන්තික ආදර කතාවයි. ඇත්ත ලෝකයේද ඒවා එසේම වුවා නම් කෙතරම් අගනේදැයි ලියුම්කරුට සිතුනි. සිනමාව යනු එයයි.
කෙසේ නමුත් මෙය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මිත සිනමා පටයකි. එබැවින් ඒ සිදුවීම් එසේම වුවාද විය හැකියි.
ලියුම්කරු විසින් මෙතෙක් ලියු කරුණු මත සොමිදරන්ගේ Neelira සිනමා කෘතිය වැඩකට නැතැයි කියා කිසිසේත්ම නොකියමි. ලියුම්කරු පැවසූයේ එම සිනමා පඨිතයේ තමන් දුටු දේශපාලන දෘෂ්ටිවාදයේ අඩු ලුහුඩු කම්ය. එය අන්‍යයන්ට එසේ නොවනු ඇත.
සොමිදරන්ගේ Neelira සිනමා පඨය තුළ ඔහු රූප රාමු හසුකරගෙන ඇති ආකාරය ඉතා උසස් ස්වරූපයක් ගනු ලබයි. එය බොහෝ දුරට ඉන්දියාවේ කේරලාශ්‍රිතව රූගත කරන්නට ඇතැයි සිතමි. සමස්ත කතාවමට ගතවන්නේ සිනමා පැය 24කි. එම පැය විසිහතරේ කතාවට උචිතම දර්ශන තල අධ්‍යක්ෂවරයා විසින් උපයෝගි කරගෙන තිබේ. එසේම මෙය එක රාත්‍රියක කතාවකි. එය දිගු රාත්‍රියකි. එබැවින් ඒ දිගු රාත්‍රිය පුරාවට ප්‍රෙක්ෂකයාගේ දෘෂ්ටියට බාධා නොවන සේ සහ නොගැළපෙන ආලෝකකරණයක් මෙහි දැකිය නොහැකිය. මෙහි ආලෝකකරණය එතරම් අති විශිෂ්ටය.
නළු නිළි වරණය ගැනද නොකියාම බැරිය. එහි කුඩා දරුවාගේ සිට අති විශිෂ්ට රංගනයක යෙදෙන ඉන්දීය හමුදා කැප්ටන් දක්වාම මෙහි රංගනයේ යෙදෙන රංගධරයින් තමන්ගේ කාර්ය ඉතා හොදින් ඉටු කරනු ලබයි. එසේම ඔවුන්ගේ මනෝභාවයන් රූප රාමුවට ගැළපෙන ලෙසින් හසු කර ගැනුමේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවද සොමිදරන් ඉතා හොදින් සිදු කර තිබේ. මෙහි සංගීතය ගැනද කිව යුතුමය අදාල රූපරාමුවේ තිබෙන ඒ මනෝභාවයට ගැළපෙන පරිදි එම සංගීතයත්, සංගීත සංයෝජනයත් අපූරුවට ගළපා තිබීම පැසසිය යුතුමය.
අවසාන වශයෙන් දෙමළ වාර්ගික අර්බුධයේ එක් සුවිශේෂි හැරවුම් ලක්ෂ්‍යයක් වූ ඉන්දීය හමුදාවේ මැදිහත්වීමේ ක්‍රියාව නිසාවෙන් කබලෙන් ලිපට වැටුනු උතුරේ දෙමළ වැසියාගේ දෛනික ජීවිතයේ ඉතාම අංශුමාත්‍රයක් ගැන වුව මෙලෙසින් ඉතා දුෂ්කර වෑයමක් දරමින් සිනමාවට නංවා එය වර්තමානයටත්, අනාගතයටත් ඉතිරි කර තැබීම පිළිබදව Neelira සිනමා පටයේ අධ්‍යක්ෂ සොමිදරන් වෙත ලියුම්කරුගේ ගෞරව ආචාරය පුදකරන්නටද කැමැතෙමි.
✍️ නිලංක ඇලෙක්සැන්ඩර්
2026 අප්‍රේල් 9



Comments
Post a Comment