සූරිය ගසක නඩු තීන්දුව

“ඔබ හිතුවද මට ඔබව හඳුනා ගන්න බැරි වුනා කියලා.” 

ඒ මහ රූස්ස ගස මා දෙසම බලා සිටියි. ඒ බැල්මෙන් මිදීමට මා හට නොහැකිය. ඊට වඩා ඒ බැල්මෙන් මතු වූ මේ වරදකාරි හෘද සාක්ෂියෙන් මිදීමට කිසිසේත්ම නොහැකිය. මා ඒ රූස්ස ගසෙන් සමාව අයදින්නාක් වැනි බැල්මකින් බලා සිටින්නට වීමි. 

“දැන් කාලය ගත වි හමාරයි. අතීතය යනු අතීතයි. දෙයියෙක් වන මටත් ඒ අතීතය ආයේ හරවන්න කිසිසේත්ම බෑ. ඒ නිසා සූරිය සහෝ ඔය පරණ කෝන්තර අමතක කරලා දාන්න.”

“මගේ තුරුළට ගෙනාව දරුවන්ගෙන් ඉස්කෝලේ වයසේ එක අහිංසක දරුවෙක් මගේ තාත්තගේ ඇස්දෙකම පේන්නේ නෑ. මගේ අම්මා මට ඉගැන්නුවේ කැලේ ගිහිං වේවැල් කපාගෙන ඇවිත් ඒවා විකුණලා. ඒ නිසා ඒ අම්මවයි තාත්තවයි බලා ගන්න මට යන්න දෙන්න බුදු මහත්තයෝ කියලා. කකුල් දෙක අල්ලගෙන කදුලු පෙරාගෙන වඳිද්දි. ඒ දරුවගේ කන ඇතුලට පෑන් බටයක් ඔබලා අනිත් අතින් පටාස් ගාලා ගහපු ඔබව මට කවමදාවත් අමතක වෙයි කියලා ඔබ හිතුවද?”

පෑනකට කොයි තරම් නම් දේවල් ගොඩක් කරන්න පුලුවන්ද? ඉන් ලියැවෙන අකුරුවලින් මිනිසුන් මුසපත් කරන කවි ගීත ආදර රචනා කතා ලියන්නට පිළිවන. එසේම මිනිසෙකුට නිදහස ලබා දෙන ලියවිලි සහ ඔහුව මරණ දණ්ඩනයට පත්කරවන ආඥාද ලිවිය හැකිය. ඊට අමතරව එක් යුගයක එම පෑනම මේ මහා  රූස්ස පවසනා පරිදි අහිංසකයින් සිය ගණනකගේ කර්ණපටලය හරහා ගොස් ඔවුන්ව සුවදායි නින්දකට යොමු කරවන ආයුධයක් බවටද පත් වීය. 

“දැන් ඒ දරුවෝ හැමෝම වගේ සුවදායි නින්දේනේ ඉන්නේ. ඇයි මේ පරණ දේවල් ආයේ ආයේ මතක් කර කර ඒ දරුවන්ගේ නින්දට බාධා කරන්නේ.”

“ඒ දරුවෝ සුව නින්දකට ගියා නෙවේ මේ අය ඒ දරුවන්ව බලහත්කාරයෙන් නිදි කෙරෙව්වා. දෙයියා දන්න උලව්වක් නෑ. හැමදාම රෑට ඒ දරුවන්ගේ දසවද දිදී විවිධ අය ගැන ප්‍රශ්න අහන විදිය. කොයි තරං වද දුන්නත් සමහරු නිර්භිතව ඒවා දරාගෙන හිටපු විදිය. මේ අය ඒ දරුවන්ගේ කන්වලට පෑන්බට තියලා පටාස් ගහලා ගහන සද්ද? ඒ දරුවන්ගේ මරළතෝනි සද්ද. මට හැමදාම ඇහෙනවා. ලෝකාවසානය වෙනකම්ම මට ඒ අහිංසකයින්ගේ ළතෝනියෙන් මිදෙන්නට වෙන එකක් නෑ.” 

“මේ කියන දේ ඇත්ත. ඒ නිසා දෙයියා දැන් යන්න. මගේ සහයට ආවාට දෙයියාට ස්තූතියි. ඒත් මාව පෙළෙන මේ වරදකාරි හෘද සාක්ෂියෙන් මාව මුදා ගන්න දෙයියාට විතරක් නෙමේ මුළු දේව සභාව ආවත් බැරිවෙයි.”


අහසට දමා ගැසූ කවි

නිලංක ඇලෙක්සැන්ඩර්





Comments