උත්තරය දීපචෙල්වම්ගේ පොත් නිදහස් කිරීම පමණක් ද? එතකොට ප්‍රශ්නය ?
ශ්‍රී ලංකා රේගුව විසින් සාහිත්‍ය කෘති කිහිපයක් නිදහස් නොකර රදවා තබා ගැනීමේ අමනොඥ ක්‍රියාවට එරෙහිව සාහිත්‍යයට ලැදි සහ ප්‍රගතශීලි සැලකිය යුතු පුරවැසියන් පිරිසක් මේ වන විට මෙම අමනෝඥ ක්‍රියාවට දායකත්වය සැපයූ රේගුවට, සංස්කෘතික අමාත්‍යංශයට එහි කලා අනුමණ්ඩල සහ මේ සියල්ල භාරයේ පවතින වර්තමාන ආණ්ඩුවට සිය කණස්සල්ල සහ විරෝධය දැඩි ලෙසින් ප්‍රකාශ කරමින් සිටියි.
ප්‍රථමයෙන් කිව යුතු වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇති සමාජයක මෙවැනි ක්‍රියාවන් සිදු වීම කිසිසේත්ම එම ව්‍යවස්ථාපිත නීතියට සේම සමාජ සදාචාරත්මක චර්යාදර්මයන්ට අනුවද පිළිගත හැකි ක්‍රියාවක් නොවන බවයි. නමුත් මේ අමනෝඥ ක්‍රියාව සමගින් සිටගනු ලබන රජයේ පාර්ශව සහ එය සාධාරණීකරණය කරන ඇතැමුන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යන්න පිළිබදව මේ වන විට විවිධාකාර අර්ථකතනද දිගහරිමින් පවතියි.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු කාගේවත් සිත් රිදේ වී යැයි පූර්ව නිගමනයන් ගෙන සීමා පැණවිය හැකි කරුණක් නොවේ ය. එමගින් යම් කිසි පාර්ශවයකට අගතියක් සිදුවන්නේ ද යන්න පවා දැන ගැනීමට නම් ඒ පිළිබද පූර්ව නිගමනවලට එළැඹීමට ප්‍රථමයෙන් එය සමාජයට මුදා හැර බැලිය යුතු ය. ඉන් අනතුරුව ඉන් සමාජයට අහිතකර බලපෑමක් ඇත්තටම ගෙන එන්නේ නම් ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ඉන් අනතුරුව ගත හැකි ය. කෙසේ නමුදු ශ්‍රීලංකාව වැනි රටක ජන සමාජයට සාහිත්‍යම හෝ විමර්ෂණාත්මක සංවාද සටහන් සහිත කෘතියකින් එවැනි බලපෑමක් සිදු කළ හැකි ද යන්න පිළිබදව දෙවරක් සිතා බැලිය යුතු ය. මක් නිසාද යත් එවැනි සැලකිය යුතු බලපෑමක් මෙරට සාහිත්‍ය හෝ අනෙකුත් ග්‍රන්ථ ඉතිහාසය තුළ මේ දක්වාත් සිදුව ඇති බවට වාර්ථ නොවන බැවිනි.
රේගුව විසින් මේ රදවාගෙන තබාගෙන ඇත්තේ දෙමළ භාෂාවෙන් ලියවුනු කෘතින් ය. ඉන්දියාවේදි මුද්‍රණය කර මෙරටට ගෙන්වා බෙදා හරින එකම ග්‍රන්ථ දෙමළ භාෂාවෙන් ලියා පළ කරන ග්‍රන්ථම නොවේ ය. සිංහලයෙන් ලියන ඇතැම් කෘතින් ද ඉන්දියාවේ මුද්‍රණය කර මෙරටට ගෙන්වා ගැනීම කාලයක් තිස්සේම සිදුවෙන ක්‍රියාවලියකි. එයට එකම හේතුව මෙරටට සාපේක්ෂව ඉන්දියාවේ මුද්‍රණ වියදම් අවම වීම ය.
එලෙසින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද ග්‍රන්ථ අතරින් රේගුව භාරයේ රදවා තබා ගත් එකම ග්‍රන්ථ මේ මොහොතේ ප්‍රබලව සාකච්ඡාවට ලක්වන කිලිනොච්චියේ පදිංචි දෙමළ සාහිත්‍යකරුවකු වන ප්‍රදීපන් දීපචේල්වම්ගේ ග්‍රන්ථ පමණක්ම නොවේ ය. මෙරට හැරගොස් විදේශ ගතව ජීවත් වන දෙමළ සාහිත්‍යකරුවකු වන ශෝබා ශක්ති විසින් රචිත කෘතින් කිහිපයක් ද මීට පෙර මෙලෙසින් රේගුව භාරයට ගෙන රදවා තබා ගෙන තිබේ.
දකුණෙ සිංහලයාට මෙරට පසුගිය අඳුරු යුගය තුළ අත්දැකීමට සිදුවූ ඒ රාජ්‍ය මර්ධනය සහ යුධමය භ්‍රාන්තිය පිළිබද තම කම්පනයන් ලියා පල කිරීමට නිදහස ඇත්නම් උතුරේ ජීවත් වන දෙමළාටද තමා අත්විදි ඒ මර්දනකාරි වට පිටාව පිළිබද ස්වකීයීය අත්දැකීම් ලියා පළ කිරීමේ අයිතියද තිබිය යුතුමය.
එසේ නම් මෙම සිදුවීමේ මූලය කුමක් ද?
රේගුව විසින් මෙලෙසින් රදවාගෙන තබාගෙන තිබෙන කෘතින් සියල්ලම පාහේ දෙමළ බසින් ලියැවුන එවා ය. රේගුව තුළ දෙමළ බස ව්‍යක්තව හැසිරවිය හැකි ස්වල්ප දෙනෙකු සිටිය හැකි නමුත් මේ රදවා තබා ගැනීම් බොහෝ දුරට සිදුව ඇත්තේ එම කෘතීන් දෙමළ වීම නිසාවෙන්ම බව පැහැදිලි වන්නේ, දීපචේල්වම්ගේ රදවා තබා ගත් එක් කෘතියක් සිංහල බසට පවා පරිවර්ථනය වී වසර කිහිපයක්ම ගතව ගොස් එහි නවතම මුද්‍රණයත් මෙලෙසින් රදවා තබා ගැනීම නිසාවෙනි. ශෝබා ශක්තිගේ ග්‍රන්ථවලට අත්ව ඇත්තේ ද එවැනිම වූ ඉරණමකි. එනම්. එහි අන්තර්ගතය කුමක්ද යන්න නොව එය රචිත බස දෙමළ වීමම මෙම ක්ෂණික රදවා ගැනීමේ පළමු දෘෂ්ටිවාදයයි.
අසූවේ දශකය අග සහ අනූව දශකය පුරාවටත් ඉනුඳු ඔබ්බටත් මෙරට පුරවැසියාට තම අන්‍යයතාවය තහවුරු කරන ජාතික හැදුනුම් පතෙහි සම්පූර්ණ නාමය යන ස්ථානයේ ඔහුගේ නාමය සෘජුව දෙමළ වීම හෝ ඔහුට හෝ ඇයට වක්‍රව දෙමළ සම්භවයක් තිබේ නම්, ඔහුගේ හෝ ඇයගේ නාමය සිංහල අකුරෙන් සහ දෙමළ අකුරෙන් ලියා තබනු ලැබේ. මෙය රාජ්‍යයක ද්වි භාෂා පදනමේ ඇති යහපත් ලක්ෂණයක් වුවත් මේ දශක තුන පුරාවට එවැනි දෙමළ අකුරු සහිත ජාතික හැදුනුම්පත් සහිත මෙරට පුරවැසියන් දකුණේ මාර්ග බාධක සේම අනෙකුත් ආරක්ෂක සෝදිසි කිරීම් ස්ථානවලදි ක්ෂණික රදවා තබා ගැනීම් සහ දීර්ඝ ප්‍රශ්න කිරීමේ මානසික හිංසාවන්වලට නිරන්තුරව ලක්වීම එකල සාමන්‍ය ලක්ෂණයක් වී ය.
එසේනම් වර්ථමානයේ මේ අත්ව ඇති ග්‍රන්ථ රදවා තබා ගැනීමේ ගැටළුව හුදෙක් ප්‍රදීපන් දීපචෙල්වම් නැමැති ලේඛකයාගේ ලේඛන ශෛලිය හෝ එම ග්‍රන්ථ අභ්‍යන්තරයේ ඇති කරුණු සම්බන්ධයෙන් වු ගැටළුවක්ම ද?
1950 දශකයේ සිට දීර්ඝ කාලයක් පුරාවට ස්වකීය අයිතීන් උදෙසා දෙමළ වැසියන් ගෙන ගිය සාමකාමී අරගල වෙත දකුණේ සිංහල රාජ්‍ය විසින් උපහාසාත්මකව බැලීම් සහ දෙමළ වැසියන් වෙත එල්ල කල රාජ්‍ය මර්ධනයන්ගේ ප්‍රථීඵලයක් ලෙසින් වෙනම රාජ්‍ය සංකල්පය පෙරදැරීව ආයුධ අතට ගෙන දියත් කරන ලද ඒ සටන වසර තිහක් පුරාවට ලේ කඳුළු හෙළා අවසානයේ මුල්ලිවයිකාල් බිමේදි ආයුධ බලයෙන් ජයග්‍රණය කරනු ලැබු පසු යුද්ධයට හේතු වූ සාධක සියල්ල දැන් අවසන් යැයි පාරම්බාන සිංහල ස්වොත්තමවාදීන්ට ද, දෙමළාට දැන් කිසිඳ ප්‍රශ්නයක් නැතැයි උදම් අනන ඊනියා ජාතිකවාදීන්ට ද දැන් කියන්නට ඇත්තේ, ප්‍රශ්නය ඇත්තේ දෙමළාට දෙමළ වීම යන කාරණය තුළ කියායි. බර්ට්‍රෝල් බ්‍රෙෂ්ටගේ කියමක් මේ මොහොතේ සිහියට නැංවේ.
"යුද්ධය අවසන් සාමයෙන් ප්‍රවේසම් වෙයල්ලා."
ප්‍රදීපන් දීපචෙල්වම්ගේ කෘති රදවා තබා ගැනීමට එරෙහිව සාහිත්‍යකරුවන් සේම ප්‍රගතිශීලි පුරවැසියන් මේ මොහොතේ ජනමාධ්‍ය තුළ සේම සමාජ මාධ්‍ය තුළ ද තම විරෝධය දක්වමින් පවතින මේ මොහොතේ. ආන්ඩුව විසින් පත් කරනු ලැබු කලා අනු මණ්ඩලයක් විසින් රේගුව සහ ආරක්ෂක අංශ සමගින් එක්ව දීපචෙල්වම්ගේ ග්‍රන්ථ ද්විත්ත්වයක් පමණක් නිදහස් කර අනෙක් ග්‍රන්ථ ද්ව්ත්ත්වය තව දුරටත් රේගුවේ රදවා තබා ගැනීමට ලබා දී තිබෙන නියෝගය හාස්යොත්පාදක කරුණකි.
පවතින ඕනෑම ආන්ඩුවක හිතෛශීන්ට ලබා දෙන මානසික අල්ලසක් වැනි මෙවැනි කලා අනු මණ්ඩල තනතුරු දරණ ඔවුන් මෙරට පාඨකයින් කියවිය යුතු සහ නොකියවිය යුතු කෘතීන් මොනවාද යන්න පිළිබදව තීරණය කරනු ලබන සංරචක මොනවා ද? එවැනි තීන්දු තීරණ ගැනීමට ඔවුනට ඇති නෛතික අයිතිය කුමක් ද? එසේ නම් ඔවුන් තම අනු මණ්ඩල නාමය කලා පොලීසිය ලෙසින් වෙනස් කර ගත යුතු නොවේ ද?
මේ මොහොතේ මේ අනුමණ්ඩල සාමාජිකයින් ලබා දෙන මේ විහිළු තහළු නිසාවෙන් මෙම ක්‍රියාවේ ඇති ඇත්ත ප්‍රශ්නය වැසී ගොස් සියල්ලෝම අනු මණ්ඩල සාමාජිකයින් සමඟ මතවාදීමය සහ ඇතැම් විට පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීම්වලට යන තරමටම සංවාද සිදුවෙයි.
මේ මොහොතේ කරන්නට අවැසි කුමක් ද?
දින ගණනාවක් මුළුල්ලේ සංවාදයට ලක්වෙමින් ඇදි ඇදී යන මෙම ගැටළුව දීපචේලවම්ගේ කෘති නිදහස් කර ගැනීමට පමණක්ම ලඝු වුවහොත් සිදුවන්නේ මෙහි ඇත්ත ප්‍රශ්නය යට ගොස් මතුපිට ජනප්‍රිය මාතෘකාවට පමණක් පිළිතුරක් ලැබීම පමණි. එනම්. තව දින කිහිපයකින් රජය විසින් ප්‍රදීපන් දීපචෙල්වම්ගේ ඉතිරි ග්‍රන්ථත් නිදහස් කළහොත්? නිදහස් කරන බවට තීන්දුවක් දෙනු ලැබුවහොත්? මේ වෙනුවෙන් හඬ නැගු ඒ ප්‍රගතශීලි පුරවැසියන් සියල්ලෝම ජයග්‍රහණය සමරා විසිර යා යුතු ද?
සාහිත්‍ය සහ නිර්මාණශීලීත්වයට විලංගු ලන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) වැනි ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා රාජ්‍යයට නොතිබිය යුතු අණ පණත් තුළින් ඉදිරියටත් දෙමළ භාෂාවෙන් ලේඛනයේ යෙදෙන මුස්ලිම් සහ දෙමළ ලේඛකයන් (අන්නෆ් ජසීම්/ශක්තික සත්කුමාර/ නතාෂා එදිරිසූරිය වැනි නිර්මාණකරුවන්) අනාගතයෙත් සිරකර දමනු ඇත. ඔවුන්ගේ කෘතින් මෙලෙසින් රදවා තබාගෙන ප්‍රශ්න නගනු ඇත. එසේම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පමණක් නොව නිදහසේ සංචරණයේ නිදහස පවා අහිමි කරලන ත්‍රස්තවාදය වැලක්වීමේ පණත (PTA) වැනි පණත් තවදුරටත් බලාත්මක භාවයේ පවතින රාජ්‍යයක සුළු ජාතින්ගේ නිදහස් අදහස් ග්‍රන්ථ ලෙසින් අන්‍යයන් සමගින් බෙදාහදා ගැනීමේ ඉඩක් තිබේයැයි කියා සහතිකයක් දිය හැක්කේ කාහට ද?
එබැවින් අප විසින් මේ මොහොතේ ප්‍රදීපන් දීපචෙල්වම් ලෙඛකයාගේ කෘතින් රේගු භාරයේ රදවා තබා ගැනීමේ මේ නිශ්චිත සිදුවීම උපකාරී කරගනිමින් සිදු කළ යුතු නිශ්චිත දේශපාලන කාර්යභාරයක් තිබෙයි. එනම් ICCPR සහ PTA වැනි අහිතකර පණත් අහෝසිකර දැමීමට පවතින රජයට දැනෙනා ලෙසින් බලපෑමක් එල්ල කිරීමයි. එලෙස කරන බලපෑමක් මගින් සිදුවන ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණයන් තුළින් දෙමළාට දෙමළ වීම තුළ තිබෙන්නා වූ එක් සංස්කෘතික විලංගුක්, වාර්ගික පීඩනයක් අහෝසි කරගත හැකි වනවා සේම උතුරේ පීඩිතයාට තම පීඩිතත්වය පිළිබදව ඇත්ත කතාව දකුණට හුවමාරු කරගැනීමේ මෙවැනි අතර මැදි බාධක ද අහෝසි කරගත හැකි වෙයි.
✍️ නිලංක ඇලෙක්සැන්ඩර්
2026 අප්‍රෙල් 25







Comments
Post a Comment