ඉතිහාසෙ පුරාම වමේ පක්ෂ කළේ ප්‍රතිපත්ති පාවලා දුන්නු එක
“ගියාද නෝනෙත් පහුගිය ටිකේ ගෝල් ෆේස් පැත්තෙ.”
“දවසක් ගොඩ වුණා වැඩ ඇරිල එන ගමන්. ආයෙ නං ගියෙ නෑ. අපි ඉස්සර දහයක් පහළොවක් අමාරුවෙන් එකතු කරන් කරපු පිකට් මතක් උනා. පාරෙ ගිය මිනිස්සු අපිට කුණුහරුපෙන් බැන බැන ගියේ ඒ දවස්වල. මට ඒ බර එතන දැනුනෙ නෑ මාමෙ- මගේ ගොඩාක් යාලුවෝ රස්සාව කරලා හවසට වෙනසකටත් එක්ක ගොල්ෆේස් ඇවිත් පෝස්ටරයක් උස්සගෙන ඉදලා, ටික වෙලාවක් හයියෙන් කෑගහලා, සෙල්ෆියක් ගහලා, ෆේස් බුක් එකේ දාලා ආපහු යනවා. උදේ හවා වැඩට යන්න නැති අය දිගටම නැවතිලා ඉන්නවා. කෑම බීම ඇඳුම් බඩු මුට්ටු එහෙමත් හෝ ගාලා එනවා එතෙන්ට. කොහෙන් එනවද මන්දා හරියට නිකං මිනිස්සු ට්‍රිප් ගිහින් වාගෙ මාමෙ.”
චන්දරේ මාමා හිනාවෙමින් ගෙතුළට මා කැඳවූයේ ය
“ඔව් ඉතිං කොරෝනා හන්දයි තෙල් නැති හන්දයි ගෙවල් අස්සට වෙලා උන්නු මිනිස්සුනෙ. මේ මිනිස්සු පොදිය පිටින් එක හඩින් පෙළ ගැහිලා තියෙන්නේ මේ ධනේෂ්වර ක්රමයේ අර්බුදය අවබෝධ වෙලා නෙමෙයිනෙ. ඇයි ඒක අවබෝධ කරලා දෙන්න ව්‍යාපාරයක් නැත්තෙ. ඇයි අපි බලාපොරොත්තු තියපු පක්ෂත් මේ රැල්ලෙ දියවෙලා යන්නෙ. ඉතිහාසෙ පුරාම වමේ පක්ෂ කළේ ප්‍රතිපත්ති පාවලා දුන්නු එක. අන්තිමට නන්නත්තාර උනේ අපි නෝනෙ.”
“එතන එකතු වෙලා ඉන්නෙ සුළු ධනේෂ්වර මනෝභාවයන් තියෙන මිනිස්සුනෙ මාමෙ. අපි කියන ක්‍රම වෙනස තියා එයාලට තේරෙන විදියෙ ක්‍රම වෙනසක්වත් එයාලට ඕනෙ නෑ. පෝලිම් ඉවර උනාම, ෂෙඩ්වලට තෙල් ආවම, කීයටහරි ගෑස් ලැබෙනකොට ඔව්වා ඉවරයි. රාජ්‍ය මර්දනයට විරුද්ධව රාජ්‍ය අපරාදවලට එරෙහිව මිනිස්සු ඔහොම පාරට බැස්සද?. බැහැපු උංටත් බැන්නා මිසක්. අන්තිමට උංට අරගලෙත් ආතල් එකක් වෙලා.”
මෙරට වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ මාගේ පියාගේ ඉතාම සමීප මිතුරෙකුද වූ චන්දරේ මාමා මා කුඩා කළ සිට මාගේ සිත් ගත් එක් ආදරණීය චරිතයකි. එසේම පසුකාලීනව වීර චරිතයකි. ඉනිඳු අනතුරුව තරමක් මාගේ කෝපය අවස්සනු ලැබූ චරිතයකි. දැන් නම් ඔහු මට ඒ සියල්ල කැටි වූ අනුකම්පා උපදවන චරිතයකි.
(මාක්ස්වාදි බෞද්ධයා)
Comments
Post a Comment