මහා පාරේ දුමාරේ
මේ දවස්වල පාරේ යන්න බෑ රස්නේ, ඒ වගේම අවුව දරාගන්න බෑ. අවු සැර කාපට් පාරට වැටිලා එන ඒ ෆීලිංග් එක? මතක් වෙද්දිත් ඇගම දැවිල්ලයි නේද? ඉතිං හිතන්න මේ අල්ල පනල්ලේ පාරේ ඇවිදගෙන යද්දි එහෙමත් නැත්තන් බයිසිකලයක යද්දි මහ හයියෙන් හෝන් ගහගෙන යන බස් එකක ලොරියක වෑන් එකක කළුම කළු දුම් වලාවක් මැද්දේ අතරමං වෙන්න උනොත් ඔබට මොනා හිතෙයිද? කළුදුම් වලාවත් සමගින් ඒ වාහනය පදවන රියදුරු දෑතට දෙවිම පිහිටයි කියා මුවින් නොකිය වුනොත් ඇත්තටම ඔබ සිත දමනය කරන ලද මිනිසෙක්.
සංවර්ධනය යැයි කියා ගන්නා මේ අනවතර කාර්මික ධාවනයේ, පරිසරයට මිනිසා විසින් දහනය කර එක් කරවනු ලබන වායු ප්‍රතිශතය දැන් ලොවටම දරගත නොහැකි මට්ටමට පැමිණ තිබේ. ඒ නිසාවෙන්ම ලෝකයේ විවිධාකර පරිසර සංවිධාන රැසක් විසින් මෙම හරිතාගාර වායු විමෝචනය පිළිබදව දැඩිව තම අවධානය යොමු කර තිබේ. ශ්‍රි ලංකාවද මෙවැනි ලෝක පරිසර සංවිධාන රැසක නිළ සමාජිකත්වය ලබා සිටින රාජ්‍යයක් වේ.
ඒ අනුව මෙරට මහා මාර්ගයන්හි ධාවනය වන වාහනවල වායු තත්ත්වයන් නිසි ප්‍රමිතියෙන් පවත්නේද කියා සොයා බැලීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල 2008 සැප්තැම්බර් මස 03 දින අමාත්‍ය මණ්ඩල තීරණ ලේඛන අංක 08/1514/354/054 යටතේ අනුමත කර පිහිටුවා තිබේ. එහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන් වැඩිදියුණු කිරීම සහ නියාමනය කිරීමයි. එසේම වාහන වායු විමෝචන භාරකාර අරමුදල හවුල්කාර සංවිධානවල සහයෝගීතාවයෙන් රට තුළ වායු තත්ත්ව කළමනාකරණය ඉදිරියට ගෙන යාමයි.
මේ සදහ ඔවුන්ගේ නිසි අධීක්ෂණය යටතේ රට පුරාම දුම් පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. ඔබත් කුමන හෝ වාහනයක් පදවන්නේ නම්. (පා පැදිය හැර) වසරකට වරක් අනිවාර්යෙන් මේ ස්ථානයට ගොස් තිබිය යුතුම වෙයි. එහිදි නියමිත මුදල ගෙවා වාහනයේ දුම්පරික්ෂාව සමත් වුයේ නැත්තං ඔබට වාහන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමට නොහැකි වන බව ඔබ හොදාකාරවම දන්නා කරුණක්. ඒ නිසා ඔබත් ඇති පදම් මේ දුම්පරික්ෂා පෝලීමේ හිද මේ දුම් සහතිකය අරගෙන ඇතිවාට සැකයක් නැත.
ගැටළුව තිබෙන්නේ ඉන් අනතුරුවයි. මෙලෙසින් දුම් පරික්ෂා කර රජයට මුදලුත් ගෙවා මහපාරට දාන වාහනවල මේ තරං දුමාරයක් එන්නේ කොහොමද?
වාහන වායු විමෝචනය කිරීම කියන පරික්ෂාවෙන කළු ඩීසල් දුම පරික්ෂා නොකරන්නේද?
ඔවුන්ගේ පරික්ෂාවට හසුවන්නේ කළු දුමාරයටත් වඩා භයානක ඇසට නොපෙනන දුම් පමණද?
එසේනං අප හැමගේ මුහුණු ඇස් ඇගපත දුමින් වසා දමමින් නිකුත් වෙන මෙම කළු දුමාරය මිනිසාට පරිසරයට හිතකරද?
ඒය හිතකර නං හිතකරයි කියා පැවසීමත්, අහිතකර නං එය වැලක්වීමත් මේ සදහාම ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති මෙම ආයතවල වගකීම නොවන්නේද?
මෙය ලියන මා නිකමට වාගේ වායු විමෝචන භාරකාර අරමුදලේ වෙබ් පිටුවට එනම් Vet.lk වෙත පිවිසුනෙමි එහි ඔවුන්ගේ දැක්ම සහ මෙහෙවර මෙලෙසින් සටහන් කර තිබුණි.
නිරෝගිමත් ජාතියක් උදෙසා වාහන වායු දූෂණ අවම කර සුවබර දිවියක් උදා කිරීම.
ඵලදායි හා කාර්යක්ෂම නියාමන වැඩසටහනක් තුළින් වාහන වායු දූෂණ අවම කිරීම.
ඇත්තටම ඉහත මෙහෙවර ලියු සහ එය ක්‍රියාත්මක කරන්නවුන්ට "මෙහේ වර" කියා අඩගසාගෙන විත් මහා පාරේ දෛනිකව කළු දුමින් වසාගෙන ධාවනය වන බස් රථ වෑන් රථ පෙන්විය යුතම වෙයි. අඩුම තරමින් එවිටවත් ඔවුන්ට මහා පාරේ මේ කළු දුමාරේ අවම කිරීමට සිතක් හෝ පහල වුවහොත් එය මහා කුසල කර්මයක්ම වන නිසාවෙනි.
නිලංක ඇලෙක්සැන්ඩර් (Alex)
Comments
Post a Comment