History was Repeated - ඉතිහාසය නැවත නැවතත් පුනරාවර්ථනය වෙයි
ඒ 1987 ජේ ආර් ජයවර්ධන පාලන සමයයි. දීර්ඝ කාලයක් පුරාවට කොනිති ගසමින් ඇහුම්කන් නොදෙමින් මර්ධනයට නතු කරවමින් පැවත ආ උතුරේ දෙමළ අරගලයට දකුණේ සිංහල ස්වෝත්තමවාදීන් විසින් දියත් කරනු ලැබු ම්ලේච්ඡතම මර්ධනය, දකුණු ආසියාවේ එතෙක් ජනවර්ගයකට එරහිව තවත් ජනවර්ගයක් නොකල ආකාරයේ ම්ලේචඡතම පහරදීම 1983 ජූලි මාසයේදි දියත් විණි. එවක පැවති රජයේ පූර්ණ දේශපාලන ආශිර්වාදය සහ රැකවරණය යටතේ දියත් වූ මේ සංහාරය පිට දමා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු වාම දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කිරීමට එකල ජනපති ජේ.ආර් ගත් තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත් අනෙකුත් වාම වාදි දේශපාලන ව්‍යාපාරත් ස්වකීයි විරෝධය ප්‍රසිද්ධියේ සේම අප්‍රසිද්ධියේද දියත් කරනු ලැබිණි. මෙම විරෝධයන් තුළ සිදුවු කෲර මර්ධනයන් නිසාවෙන් ජේ.ආර් යනු එකල ජවිපේ ප්‍රධානතම එදිරිවාදියාද විය.
1983 කළු ජූලියෙන් ඔඩු දිවු දෙමළ ප්‍රශ්නයට සෘජුව මැදිහත් වීමට ජේ ආර් ජයවර්ධන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි අතර ද්විපාර්ශික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට 1987 වර්ෂයේදි සියල්ල සූදානම් කර තිබුණු අවස්ථාවක තහනමට ලක් කර තිබු ජනතා විමුක්ති පෙරමුණ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිවෙමු යන සටන් පාඨය පෙරදැරිව ජේ.ආර් පාලනයටත් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමටත් එරෙහිව සෘජුව සටනට එළඹියේය.
එකල දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය හෙවත් ජනතා විමුක්ති පෙරමුණ ස්වකයීය සාමාජිකයින් හරහා ලංකාවේ ආරක්ෂක ක්‍රියාවලියට ඉන්දීය මැදිහත් වීමට එරෙහිව දියත් කල එම සටනේ කෙරවල අතීශය ඛේදනීයම විය. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි වූවෝ අවසානයේ ජේ ආර් මරමු යන සටන් පාඨයට පරිවර්ථනය වන්නට වීය. ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් රාජ්‍ය ත්‍රස්තවාදය විසින් කෘෘර ලෙස වද බන්ධනයට ලක් කර ඝාතනය කර දමන්නට වීය. ජවිපේ නායක රෝහණ විජේවීර ඇතුලු පක්ෂයේ ඉහළ පෙළ නායකයින් අල්ලා ගැනීමට දියත් කල මෙහෙයුම්වලදි අසු වූ සෘජු ජවිපේ ක්‍රියාකාරිකයන් සේම මේ පිළිබදව හාංකවින්සියක් නොදන්නා අහිංසකයින්ද දහස් ගණනක් මහ මග ටයර් සෑ මත, වධකාගාර තුළ වධ බන්ධනයට ලක්වෙමින් අවසන් මෙහොත වනතුරුම තමා විස්වාස කළ තම පක්ෂේ මතය පවා නොදෙමින් තම නායකයින් පාවා නොදෙමින් මරණය වැළද ගත්හ.
ඒ ජවිපේ විසින් දියත් කල දෙවන අරගලයයි.
ජවිපේ දියත් කළ ප්‍රථම අරගලය වු 1971 අරගලය. එකල පැවති සිරිමාවෝ බණ්ඩාරණායකගේ ආණ්ඩුව එක රැයින් පළවා හැර සමාජවාදි මහජන ජනරජයක් බිහිකිරිමේ අරමුණින් දියත් කරන ලද එකක් වු අතර එය පැය විසි හතරක් වැනි කෙටි කළකින්ම මර්ධනය කිරීමට එවක රජයටද හැකියාවක් ලැබුණි. සමාජවාදි රාජ්‍යයක සිහින දකිමින් 71 එම කැරැල්ලට දායකත්වය සැපයූ ජවිපේ ක්‍රියාකාරිකයින් සහ 1987 ඉන්දියානු ව්‍යාප්තවාදයට එරහිව සටන් වැද ඝාතනයට ලක්වු තම සාමාජිකයින්ද සිහිකරමින් ජවිපේ විසින් සෑම වසරකම අප්‍රේල් 05 දින එනම් අද දින අප්‍රේල් විරු සමරුව පවත්වනු ලබයි.
"History was Repeated" ඉතිහාසය නැවත නැවතත් පුනරාවර්ථනය වෙයි. එය එක්තරා ආකාරයක දෛවයේ සරදමකි. ඇත්තෙන්ම මේ මොහොතේ දෛවය ජනතා විමුක්ති පෙරමුණට මේ තරම් සරදම් කරාවි යැයි සිතන්නටත බැරි තරම් සරදම්ක් කර තිබේ.
එදා 1987 ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව අවි අතට ගෙන බිහිසුනු රාජ්‍ය මර්ධනයට ලක්වු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට ප්‍රථම වරට මෙරට තනි ආණ්ඩු බලයක් ලබාගෙන තිබෙයි. එදා විධායක ජනාධිපති යූ.ඇන්පී ජේ.ආර්. ය මෙදා විධායක ජනපති ජවිපේ අනුර කුමාර දිසානායකය. එදා ඉන්දියාවත් සමග එරට අගමැති රජිව් ගාන්ධිත් සමග පාර්ලිමෙන්තුවවත් නොදන්නා ආරක්ෂක ගිවිසුම් ගැහුවා කිවේ ජේ.ආර් ය. මෙදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමගින් එලෙසින්ම කවුරුත් නොදන්නා ආරක්ෂක ගිවිසුම් ගහන්නට යනවා යැයි කියන්නේ අනුරය. එදා රජිව්-ජේ ආර් ගිවිසුමට එරෙහිව සටන් කල ජවිපේ සාමාජිකයින් රට පුරා "ජේ.ආර්. ම-රමු" යැයි සටන් පාඨ ලියුවේය. එහෙත් වාසනාවකට අද දින කිසිවෙකුත් මෝදි-අනුර ගිවිසුම්වලට එරෙහි වි "අනුර ම-රමු" යැයි සටන් පාඨ කිසි තැනක නොලියයි. දේශපාලනය යනු මෙයම නොවේදැයි කෙනෙකුට තර්ක කල හැකිය. එදා "ජේ.ආර්. ම-රමු" සටන පාඨය ලියැවෙන්නේ එකල ඔවුන්ගේ දේශපාල සාක්ෂරතාවයේ නොදියුණු කමක් නිසාවත් අද "අනුර ම-රමු" යැයි සටන් පාඨ නොලිය වෙන්නේ මෙකල දේශපලන සාක්ෂරතාවයේ දියුණුවක් නිසාවත් නොව එය පවතින යුගයන්හි සාමාජීය දේශපාලන තත්ත්වයන් විසින් පාළනය කරන ලබන කරුණක් වන නිසාවෙනි.
කෙසේ නමුත් මෙරට දේශපාලනයේ මෑත ඉතිහාසය පුරාම පිරී ඇත්තේ කිසිදා අත්කර ගත නොහැකි, යථාර්ථයන් ලෙස මුදුන් පමුණුවා ගත නොහැකි සටන් පාඨම පමණි. එය ඒ මෙහොතේ භූමියේ ස්ථාවරයන් සමග කදිමට පෑහෙන නමුත් ඒ නිශ්චිත මොහොත ඉක්මවු තත්පරයේ සිට එම සටන් පාඨ පුස්සක් බවටම පත්ව යයි. එබැවින් ජවිපේ හෝ ඒ මොහොතක පෙළඹවීම මත හෝ ලබා දෙනු ලැබූ සටන් පාඨ සහ දේශපාලන දැක්ම විස්වාස කරමින් ස්වකයීය වටිනා ජීවිතය ඒ දේශපාලන විස්වාසය වෙනුවෙන්ම පූජා කරනු ලැබු ඒ සටන්කාමි සහෝදර සහෝදරියන්ගේ ආත්ම මේ මොහොතේ කොළඹ නගරයේ සැරිසැරුවහොත්? ඔවුන්ගේ ආත්ම අනුර සහ මෝදි එකට ඉන්නා තඩි කටවුට් දුටුවහොත්? එකල ඝාතනයට ලක්වූ ඒ සහෝදර සහෝදරියන්ගේ ආත්මවලට කුමනාකාරයේ සිතුවිලි පහළවේ යැයි ඔබ සිතන්නේ ද?
නිලංක ඇලෙක්සැන්ඩර් (Alex)
2025 අප්‍රේල් 5
Comments
Post a Comment