චෙම්මනිය ගැන මාමාට ලිපියක්
මාමා.., අපි කොළඹ ආවා. මගේ ෆෝන් එක Stuck වෙලා ඊයෙ දවසම කිසිම වැඩක් කරගන්න වුණේ නැහැ.
අපි චෙම්මනි බලන්න ගියා, Professor සෝමදේව එක්ක කතා කළා. එතනට ඇවිල්ලා හිටපු මාධ්‍යවේදීන් අපිට එයාලා කලින් දවස්වල දැක්ක විශේෂ දේවල් කියන්න හෝ ගත්ත ෆොටෝ දෙන්න වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ.
චෙම්මනි සමූහ මිනීවළ ගාව වුණ සිද්ධිය තමයි ඒ
අපි හම්බුණා අතුරුදන් වූවන්ගෙ පවුල් කීපයක්. ක්‍රිෂාන්ති කුමාරස්වාමිගෙ බාප්පා, ක්‍රිෂාන්තිගෙ අම්මා එක්ක ක්‍රිෂාන්තිව හොයන්න ගිහින් හමුදාව අතින් මැරුම් කාපු අසල්වැසියගෙ නංගි, මේ සැරේ චෙම්මනි හාරන්න බලපෑව නඩුව දැම්ම පැමිණිලිකරු ඇතුළු පිරිසක්
ඒ කතා අතර මම ඉතා ම සංවේදී වුණා දකුණේ ගෝනිබිල්ලො වගේ උතුරේ "තලයාටි" කියලා එයාලා හඳුන්වන ගෝනිබිල්ලාගේ කාර්යය ම කරන අය ගැන අවුරුදු 82 ක සීයා කෙනෙක් එයාගෙ අවුරුදු 55 දුව, තව අවුරුදු 65 ක කාන්තාවක් කිව්ව කතා අහලා
ඒ කතා ඉතා ම සංවේදීයි මාමා. පෙරේදා රෑ මට නින්දක් නෑ. ඒ කතා දෝංකාර දෙනවා මගෙ ඔළුවෙ.
මරණයකට වඩා අතුරුදන් වීම ප්‍රබලයි මාමා. ඒ මිනිස්සු අදටත් බලන් ඉන්නව තමන්ගෙ දරුවො, මහත්තයා එනකන්.
එයාලා චෙම්මනි දිහා බලාගෙන ඉන්නව මැරුණනම් හිත හදාගන්න හරි පුළුවන් කියල හිතාගෙන
ඒවා සෑහෙන්න ඛේදවාචක මාමා
අපිට පුළුවන් වුණා ක්‍රිෂාන්ති කුමාරස්වාමිගෙ ගෙදර යන්න. එයාගෙ ඝාතනයෙන් පස්සෙ ඒ ගෙදර අතෑරලා දාලා. 1996 න් පස්සෙ මුලින්ම එතනට ගිය එකම මාධ්‍යවේදී කණ්ඩායම අපි.
එතන එහාපැත්තෙ දැන් DCSL බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්. ඒකෙ සේවකයො අර ගෙදර පුරා බීලා දාපු බෝතල්වලින් පිරිලා. ඒ ඔක්කොම ෆොටෝස් ගත්තා මාමා. ඒවා මං මාමට එවන්නම් කැමරාවෙන් ෆෝන්වලට දාගත්තම
.......................................................
ඉහතින් දක්වා ඇත්තේ විදේශගතව සිටින මාගේ මිතුරකුට ඔහුගේ ඥාති සහෝදරයෙකු විසින් එවන ලද වට්ස්ඇප් පණිවුඩ කිහිපයක මවිසින් සංස්කරණය කරන ලද කොටස් කිහිපයකි. මෙය පළ කිරීමට පෙර, මා එම මිතුරාගෙන් මේ සඳහා අවසරයක් ලබා ගත් අතර ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොවන ආකාරයෙන් මේ සංස්කරණය කළෙමි. එම නිසා ඒවායේ ඇතැම් වාක්‍ය ඛණ්ඩවල යම් යම් නොගැළපීම් තිබිය හැක.
එසේම මෙහි සදහන් වන "තලයාටි" නම් පුද්ගලයා පිළිබදව කල සොයා බැලීමකදි දැන ගන්නට ලැබුනාවු තොරතුරු වූයේ. එකල හමුදාව විසින් උතුරේ දෙමළ වැසියන්ව මුහුණ ආවරණය කරන ලද මිනිසෙකු ඉදිරියෙන් පෙරට්ටුවක් ලෙසින් යන්නට සලස්වන බවත්, එම මුහුණ ආවරණය කරණ ලද මිනිසා කිසිවෙකු දෙස බලා හිස සෙළවුවහොත් ඔහුව අත්තඩංගුවට ගනු ලබන බවත්ය. එබැවින් හිස- තලෛ, සොළවන මිනිසා "තලෛයාටි" ලෙසින් එකල මිනිසුන් විසින් හදුන්වනු ලැබ තිබේ. මෙය එකල දකුණේ ගෝණි බිල්ලා නමින් දියත් වු මර්ධනයේම තවත් ස්වරූපයක් බව පෙනී යයි.
පසු සටහන -
මේ සංවාද සටහන මට ලැබුණේ මාගේ විදේශගත මිතුරෙක්ගෙන් වන අතර. මෙම සංවාදයේ නියම හිමිකරු පිළිබඳව පසුව මට දැනගන්නට ලැබුණි. ඔහුට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. මෙහිදී මා හට අවශ්‍ය වූයේ එම සංවාදයේ ඇති පණිවිඩය ඔබ සමග බෙදා හදා ගැනීම පමණක්ම බවත් පැවසිය යුතුමය.
-Alex-
Comments
Post a Comment