කතුවරයාගේ අභිලාෂය මැකී යන මකා දැමූ කවි -ගගන වර්ණකුලසූරියගේ ඉරේසරිය ඊරාවෙන් ඉකිබිතිව ඉතිරිව-



ඕනෑම නිර්මාණයකට ඊටම ආවේණික වූ අර්ථයක් තිබේ. නැත්නම් අර්ථ සමුදායක්ම තිබේ. විශේෂයෙන් නිර්මාණයක අග්‍රය වන්නේ එහි නිර්මාපකයාගේ ආත්ම ප්‍රකාශයයි. එනම් එහි කර්තෘගේ අභිලාෂයයි. කර්තෘගේ අභිලාෂය අකුරු, රූප, සංකේත, ශබ්ධ, ධ්වනි තරංග යන ඕනෑම මාධ්‍යයක් ඔස්සේ අන්‍යයන්ට සන්නිවේදනය වූ තැන්හි සිට එම නිර්මාණය කෙරෙහි ඔවුනොවුන් දක්වන්නාවූ ලෝලත්වය හෝ ඒ සමබන්ධව ඇති කර ගනු ලබන කුතුහලාත්මක දැනවීම මත හිදගෙන ඔවුනොවුන් තම තමන්ගේ අභාලාෂය ද සන්නිවේදනය කරනු ලබයි. 

ගගන වර්ණකුලසූරියගේ ඉරේසරිය ඊරාවකින් ඉක්බිතිව ඉතිරිව කාව්‍යය සංග්‍රහය තුළ අපට දක්නට නොලැබෙන්නේ ඒ කතුවර අභාලාෂයයි. මෙය තරමක් විවාදාත්මක ප්‍රකාශයක් සේ ඔබට සිතෙන්නට පිලිවන. කම් නැත. ප්‍රථමයෙන් ගගනගේ ඉරේසරිය ඊරාවෙන් ඉක්බිතිව ඉතිරිව කියවා එන්නට කියා මා ඔබට පවසමි. 

කාව්‍ය කෘතියේ හැදින්වීම් තුළ ගගන මෙම කාව්‍ය ආකෘතිය ගැන දීර්ඝ පැහැදිලි කිරීම් කිහිපයක්ම කරනු ලබයි. එය මෙරට කාව්‍යකරණය පිළිබදව උනන්දුවක් දක්වන්නන්ට මහගු පිටුවහලක්. කෙසේ හෝ වේවා එම පැහැදිලි කිරීම් අතරේ මෙම කාව්‍යය අකෘතියට ශේෂ කවි යනුවෙන් තමා විසින් හදුන්වනු ලබන බව ඔහු පවසන අතර තැන් තැන්වලින් අසුලාගන්නා ලද පෙර ප්‍රකාශනයන්හි අක්ෂර මකා දැමීමෙන් ඉතිරිව අවශේෂ වූ අක්ෂරතුලින් වෙනත් අර්ථයක් ධ්වනිත කරවන එම කාව්‍ය ආකෘතියට ශේෂ කවි යන්න භාවිතා කිරීමේ වරදක්ද නැති බවද පැවසිය යුතුය. 

දැන් අපි මෙම කාව්‍ය අකෘතියට ශේෂ කවි කියා අමතමු. ගගනගේ ඊරේසරිය ශේෂ කවි ගොන්න ගනු ලැබුවොත් එහි සංඛ්‍යාත්මකව වැඩියෙන් අන්තර්ගත වන්නේ මීට පෙර එළි දක්වන ලද කෘති කිහිපයකින් ශේෂ කරගනු ලබන අක්ෂර අතරින් මතු කරන්නට වෙර දරනු ලබන අර්ථ සමුදායකි. ඇත්තටම අර්ථ සමුදායකි. නැවත වචාවක් කීවොත් අර්ථ සමුදායකි. එනම් දසදෙනෙක් කියවා බැලුවහොත් දසවිධාකාර අර්ථ සකසා ගත හැකි. එකොලොස් වැනියාට මේ මොන මගුලක්ද කියා නොතේරෙන අර්ථයක්ද ගැබ්ව ඇති විවෘත නිර්මාණයකි. 

එවැනි විවෘත අර්ථයන් මවන නිර්මාණයන් ඇත්තෙන්ම නැවුම්ය. කියවන්නට, බලමින් විදින්නට ආශා ඇති කරවන සුළුය. එහෙත් මෙවැනි විවෘත නිර්මාණතුලින් බරපතල විපතක්ද සිදුවෙයි. එමගින් සිදුවන එකම විපත වන්නේ එහි කතුවරයාටයි. එනම්, කතුවරයාගේ නිර්මාණාත්මක අභිලාෂයටයි. උදාහරණයක් ලෙස මෙම කෘතියේ චන්ද්‍රිකාගේ ඉතිරිව ඇති ඇස ගැන ගගන සන්නිවේදනය කරන්නට උත්සහ දරා ඇත්තේ පුළුල් දේශපාලන අදහසක් විය හැකියි. එහෙත් චන්ද්‍රිකාගේ ඉතිරිව ඇති ඇස ගැන අපටත් ඔහුගේ සැමියා විජය ජීවත්ව සිටියා නං ඔහුටත් දැනෙනු ඇත්තේ කුමනාකාරයේ අර්ථයක් විය හැකිද? 

එසේම වසන්ත කාලෙක මුහුදු වෙරළේ තිබුණු මළ සිරුරු යන මෙම දෘශ්‍යම ශේෂ කිරීම් තුළ ඇති ගැඹුරු දේශපාලනාර්ථය පාඨකයා කෙලෙසින් අර්ථවත් කර ගනු ලබනු ඇත්ද? 

ඇතැම්විට ලියුම්කරුගේ දේශපාලන දෘෂ්ටිවාදය තුළ මෙම ශේෂ කවි තුළ එලෙසින් ගැඹුරු දේශපාලනාර්ථයක් ගන්නට උත්සහ දැරුවද, ඇත්තෙන්ම කතුවරයාට එවැනි අදහසක් ශේෂ කිරීම් තුළ නොතිබුනා වන්නටද පිළිවන. ඒ නිසාවෙනි ලියුම්කරු විසින් මේ ආකෘතිමය කවිය කතුවරයාගේ අභාලෂය මකා දැමු කවි ලෙසින් හදුන්වා දෙනු ලැබුයේ.   

ගගනගේ පැහැදිලි කිරීම් තුලින්ම ගනු ලැබුවොත් ඩාඩාවාදි කාව්‍ය තුළ මෙවැනි ගුණාංග අප බලාපොරොත්තු විය යුතුය. පැහැදිලිවම එය ඉතා අපූරු ආකෘතියකි. කුඩා කල අප නොදන්නා ලෙසින් විවිධ පත්තර පිටු ඉරා එහි අකුරු රූප අවිධිමත්ව පෙළ ගසමින් අළවමින් ලද ඒ ආශ්වාදය මේ ඩාඩාවාදය තුළ තිබීම අහම්බයක්ම විය නොහැකිය. එකල අප අවිඥානිකව කරනු ලැබ ඇත්තේ මේ ඩාඩාවාදයම නොවේද?

කෙසේ නමුදු ගගනගේ ඉරේසරිය ඊරාවෙන් ඉක්බිතිව ඉතිරිව දෘෂ්ඨාන්තමය අර්ථ ගොන්නකින් සපිරි ශේෂ කවි සංග්‍රහය මෙරට හතර පද කවි සහ නිදහස් නිසදැස් ආරේ කාව්‍යය සම්ප්‍රදාය ඔසවා පොළවේ ගැසු කෘතියක් සේම, මෙරට කාව්‍යකරණයේ නියැලෙන කවීන්ට සහ කවි රසවතුන් හට මේ මොන මගුලක්ද මේ අපිට උනේ යැයි කියාගන්නටද යම් කිසි කාලයක් ගත වන ආකාරයේ අපූර්වතම නිර්මාණාත්මක කෘතියක් ලෙසින්ද හදුන්වා දිය හැකිය. 

නිලංක ඇලෙක්සැන්ඩර් (Alex)



Comments