විජී අපි බඳිමු. බැඳලා අපි වෙන රටක පදිංචියට යමු.

 දැන් සමල්ගේ කඵ ඉංගිරියාවෙන් විජීවද, විජීගේ කඵ ඉංගිරියාවෙන් සමල්වද ඉතා පැහැදිලිව පෙනෙයි. වේගයෙන් ඉහළ පහල යන විජීගේ උණුසුම් සුසුම් රැලි තෙත බරිත සමල්ගේ ශරීරයට අපමණ සුවයක් ගෙන දෙයි. සමල් ලෝබ කමින් යුතුව එම උණුසුම් සුසුම් රැළි විඳින්නට පටන් ගනු ලබයි. එක් වරම අපරදිග අහසෙන් හමා ආ සීත සුළං රැළි වලට හසු වු විජීගේ තෙත මාත්තු කළ දිගු වරළස අකීකරුව ඒ මේ අත පැද්දෙමින් සමල්ගේ ශරීරයේ වෙලෙන්නට වෙයි. විවෘත වී තිබෙන වීදුරු ජනේලය හරහා ඇදී එන ඒ සීත සුළඟින් සමල්ගේ ශරිරයේ හිරි ගඩු තව තවත් පොපියවයි. 

මුහුද දෙසින් හමා එන මේ මෘදු සුළඟ, මින් කිසිදාක මුහුදු පෙම්වතිය විසින් රැගෙන පැමිණි මෘදු සුළඟ සේ නම් නොවීය.  ගත සිත මන මෝහනයට පත්කරවන ඒ පිච්ච මල් සුවඳින් පිරුණු සීත සුළඟින් මත්වූ කොරිඩෝවේ සුදු සිනිඳු සිල්ක් ජනේල රෙද්ද, ගුවන පුරා නෙක රූ රටා මවමින් ඇදී ගොස්, අසල ඇති බිත්ති කනුවේ වෙලෙමින්, සෙමින් සෙමින් ලිහෙමින්, බිත්ති කනුව ආදරයෙන් සිපගනියි. යලි සිප ගනියි. යලි යලිත් සිපගනියි. 

සුළඟේ වේගය එන්න එන්නම දැඩිවෙයි. සුළඟින් මෝහනයට පත්ව රඟදෙන ජනේල රෙද්ද තම රංගනයේ සීමා මායිම් පැන ගොස්, අසල බිත්තිය මත එල්ලා ඇති මිණි මෙවුලද ගළවා බිමට ඇඳ දමනු ලබයි. බිත්ති රැදවුම් ග්‍රහණයෙන් ගිළිහි ටයිල් පොළව මතට ඇඳ වැටෙන මිණි මෙවුල මනමෝහනීය ලෙස, සෛමින් සෙමින්.., සෙමින් සෙමින්. කෙදිරිලි හඬ රටා පතුරුවයි. 

දැන් දැන් සුළගේ වේගය තරමක් ප්‍රචන්ඩ වෙන ලකුණු දිස්වෙයි. අපරදිග අහසෙන් මතුව පැමිණි ඝන නීල වළාව හැඬුම්බරව මේ ප්‍රේමාලිංගනය දෙස විමසිලිමත්ව බලා සිටියි. සුළග සමගින් රඟදක්වා වෙහෙසට පත්ව සිටින පිච්ච මල් සුවඳින් පිරි, සිල්ක් ජනේල රෙද්ද, යලි නොවැටෙන්නම බිත්ති කනුව වෙලාගෙනු ලබයි. තවත් සුඵ මොහොතකින් බිත්ති කනුව ආදරයෙන් බදා වැළද සිටින, ඒ සුදු සිනිඳු සිල්ක් රෙද්ද තෙමාලමින්, ඒ මතට, අපරදිග අහසෙන් මතුව පැමින ඒ ඝන නීල වළාව, කල්ප කාලයක් මුලුල්ලේ ඉවසා දරාසිටි මහා දුක් සෝසුමක් පිට කරන්නා සේ, අසනිපාත වතුර බිදු එක දිගට වඟුරුවාලන්නට වෙයි. 

......., .....................,

විජී අපි බඳිමු. බැඳලා අපි වෙන රටක පදිංචියට යමු.

(ජෙගන් නවකතාව පිටු අංක 81-82)



Comments