“ගිනිගත් නගරය මැදින් තවමත් හමා එන අඳුරු මතක සිතුවිලි”

 

“පුතේ අර තියෙන්නේ අපි එදා ෆිල්ම් එකක් බලපු හෝල් එක.” 

බයිසිකලය පදින අතරතුරම ගිනිගත් ගොඩනැගිල්ලක් දෙසට ඇඟිල්ල දිගුකරමින් ජගත් මාමා මාහට පෙන්වූ දේ මට අද ඊයේ වාගේ මතක තිබෙයි. ඒ වැල්ලවත්තේ ට්‍රියෝ සිනමා ශාලාවයි. පවුලේ අය සමගින් සිංහල චිත්‍රපටියක් (විජය කුමාරතුංග රඟපෑ ‘නැවත හමුවෙමු’ චිත්‍රපටිය. එය මේ සිනමා ශාලාවේ තිරගත වූ අවසන් සිංහල චිත්‍රපටිය ලෙසින් ද සැළකෙයි.) නැරඹීමට ගිය මාගේ වයස මට හරි හැටි මතක නැතත් මාමා විසින් වඩාගෙන පැමිණි මා එදා ඒ සිනමා ශාලාවේ සිමෙන්ති පොළවේ තැබූ විගස යලිත් ගාලුපාර දෙසට දුවගෙන ගිය ආකාරයත් සිනමා ශාලාවේ මුරකරු එක්වරම ඉදිරියට පැන මා අල්ලාගත් ආකාරයත් සිහිනයක සිතුවිලි සේ තවමත් මාගේ මතකයට හමාගෙන එයි. සිහිනයක මතක සටහනක් බදු ඒ අපූරු ගොඩනැගිල්ල ජාතිවාදී ගිනිදැල්ලට අසුවී ගිනිගෙන දැවි කළු පැහැ ගැන්වී තිබෙයි. කුඩා දරුවෙක් ලෙස, ගින්නෙන් දැවුනු ඒ සිනමා ශාලාව දුටු මාහට එදා නම් ඇතිවුයේ කුතුහලය මුසු බියජනක සිතුවිල්ලක් පමණක් වුවත්, මෙදා මැදිවියේ පසුවන මාහට ඒ සිතුවිල්ල අංශුමාත්‍රයකින් හෝ සිහියට නැංවෙත්ම ඇතිවන්නේ ශෝකය මුසු වේදනාත්මක සිතුවිලිම පමණි. මේ ම්ලේච්ඡ සිදුවීමෙන් වසර කිහිපයකට පසු එම ස්ථානයේම විශාල හිටි බුදු පිළිමයක් ස්ථාපිත කළ අතර අදටත් ගාලුපාරේ ඒ අසලින් යන මා ඒ නිසල බුදුරුව හිටිවනම මා දෙස බලාගෙන පවසන්නේ කුමක්දැයි කියා තේරුම් ගැනීමට තවමත් උත්සහ දරමි. 

ඒ 1983 ජූලි මාසයයි. දින වකවානු නිෂ්චිතවම මතකයේ නැතත් ඒ අදුරු කාලපරිච්ඡේදයේ දී මා ඇසූ දුටු ඒ ම්ලේච්ඡ සිදුවීම් තවමත් ඡායාමාත්‍රයන් සේ මාගේ මතයේ දැනුදු හොල්මන් කරයි. මවිසින් ලියන්නට යෙදෙන ඒ අදුරු යුගය පිළිබද මේ කෙටි මතකාවර්ජනය කියවන ඔබ හට ඒ යුගය පිළිබදව අපමණ අත්දැකීම් ඇතිවාට සැකයක් නැත. එසේම ඒ අත්දැකීම් ඔබ විසින්ම වින්ද ඒවාද විය හැකිය. නොඑසේනම් පොතින් පතින් කියවා විවිධ මාධ්‍ය හෝ පුද්ගලයින්ගෙන් අසා දැනගත් ඒවාද විය හැකිය. එසේම මාගේ මේ ලියැවිල්ල හුදෙක් මාගේ අතීත ස්මරණයක්ම වන බැවින් මෙහි සටහන් වන ඇතැම් ස්ථාන නාමයන්ගේ තරමක පිටපැනීමක්ද සිදුවිය හැකිය. එනමුත් මේ සිදුවීම් සියල්ලක්ම පාහේ කුඩා දරුවෙක් ලෙස මා විසින් ඒ අදුරු ම්ලේච්ඡ යුගයේ ඇසූ දුටු සහ එකල ඒවා දෑසින්ම දැක ඒ පිළිබදව ශෝකයෙන් යුතුව මා අසල සාකච්ඡා කළ වැඩිහිටියන්ගේ කතා බහට කන් දීමෙන්ද ලද මතක ගොන්නක ප්‍රතිඵලයක්ම බව පැවසීමට කැමැත්තෙමි.

1983 කාලයේ මා ජීවත්වුයේ කොහුවල ප්‍රදේශයේ සිරිගල් මාවත නම් වූ අතුරුපාරක නිල්කැටේට දිය පිරුණ ගල්වලක් අද්දර පිහිටි කුඩා නිවසකය. කහපැහැති විශාල උණගස් කැළෑවකින් ආවරණය වු ගුරු පාර, ජලයට බරවූ සුවිශාල වෘක්ෂලතා සහ තැනින් තැන ජලයෙන් මතුවී තිබෙන පෙඳපාසියෙන් වැසුණු ගල් කොත්වලින් සමන්විත වූ ගල්වල, පාරිසරික වශයෙන් අතීශය සුන්දර වූ නමුත් ජාත්‍යාලයෙන් ඔදවැඩී මිනිසත්කමටත් නිගා දෙමින් ඇතැමුන් හැසිරුණු මේ යුගයෙත්, රාජ්‍ය ත්‍රස්ත්‍රවාදයේ මර්දයනයට නතු වූ 88/89 යුගයෙත්, විවිධාකාරයේ බියජනක සිදුවීම්වලට ලක් වු භූමිභාගයක්ම විය. එබැවින් ඒ යුගයේ මේ අපූරු සුරංගනා ලොවක් බදු ගල්වල දෙසට තනියම යාම වූ කලී, කුඩා දරුවන් වූ අප හට නම් දෙමාපියන්ගේ දඬුවම් නිසැකවම හිමිවන දඩබ්බර ක්‍රියාවක්ම විය.  

ගල්වලට යා වූ, අතුරුපාරවල් රැසකි. ඒ හැම පාරකටම ස්ථානයකටම අපූරු නම්ගම් ද පටපබැදී තිබුනි. අම්බලන්ගොඩ කඩේ. ඒ එක් ස්ථානයකි. අම්බලන්ගොඩ කඩේ පිහිටියේ එක් පසකින් කඩවත පාරටත් අනෙක් පසින් ගල්වලටත් තවත් පසෙකින් ඇන්ඩර්සන් පාරටත් මුහුණ දෙමිනි. කඩවත පාර සහ ඇන්ඩර්සන් පාර පෙදෙසෙහි සැළකිය යුතු තරමේ දෙමළ වැසියන් ජීවත් වූ බව මාගේ මතකයේ තිබෙයි. ඒ ආශ්‍රිතව ඉපැරණි හින්දු කෝවිලක් ද තිබුණි. එකල අම්බලන්ගොඩ කඩේට යන මා එහි විකිණිමට තබා තිබූ කට්ට කුමංජල්, විවිධ සුවඳ දුම් ජාති, හදුන්කූරූ ආදි කෝවිලට රැගෙන යන පූජා භාණ්ඩ දෙසත් ඒවායේ සුවඳත් ඉතා ආසාවෙන් බලා විඳින්නට වූ අතර තවමත් එවායේ සුවඳ ඉඳහිට මාගේ මතකය අවුස්සනු ලබයි. ජාතිභේදයෙන් තොරව සියල්ලන්ගේම යාතිකා ඇසූ දුටු සහ ඔවුන්ට පිහිට උපකාර දෙවියන්ගෙන් ඉල්ලා දුන් එම කෝවිලත් එහි පුසාරිගේ නිවසත් ජාත්‍යාලයෙන් ඔදවැඩුනු ම්ලේච්ඡයින්ගේ ප්‍රධානතම ගොදුරක් විය. අප නිවසට ඉතාමත් කිට්ටු ප්‍රදේශයක සිදුවූ ඒ ම්ලේච්ඡ සිදුවීම අප නිවසේ සියලුම දෙනා සසල කරවූ සිදුවීමක්ම විය. කෝවිල ගිනිතබා ඇතැයි ඇසූ මා සිත්හි අම්බලන්ගොඩ කඩේදි මා විඳි ඒ කට්ට කුමංජල් සුවඳ ඳුම් කුඩු සහ ඒවායේ සුවඳ අතරින් ගිනි තැබු කෝවිලකින් නැගෙන කළු දුමාරයත් මාමාත් සමග බයිසිකලයෙන් වැල්ලවත්ත පසුකරද්දි දුටු ගිනිගත් කඩපිල්වලින් නැගුනු ඒ ක`ඵ දුමාරයේ මූසල සුවඳත් සිහියට නැගුණි.

ඒදා ජාතිවාදයෙන් ඔදවැඩුනු මංකොල්ලකරුවන් කෝවිලත් එහි පුසාරිගේ නිවසත් කඩා බිදදමා ගිනිතබා විනාශ කර එහි තිබු රත්‍රං සහ අනෙකුත් වටිනා බඩුමුට්ටු කොල්ලකාගෙන ගොස් ඇති අතර, එම සිදුවීමට දායකත්වයක් සැපයු ’සුදා’ (මා ඔහුට ඇමතුවේ සුදා අයියා ලෙසයි.) ඇතු`ඵ පිරිස කෝවිලේ තිබු හාල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය රැගෙන විත් තම පවුලේ හිත මිතුරන් සමග බෙදාගත් ආකාරයත්, ඒ පිළිබදව කඩපිල අසල ඔහු උජාරුවෙන් පාරම්බෑ ආකරයත් තවමත් මාගේ මතකයේ තිබේ. එසේම මේ සිදුවීමෙන් වසර කිහිපයකට පමණ පසු සුදා ඇතු`ඵ ඒ පවුලේ වැඩිහිටියෝත්, කෝවිලෙන් මංකොල්ල කෑ හාල් පරිභෝජනය කළ ඇතැම්හූ ත් ලෙඩ රෝගවලට ගොදුරු වී අකල් මරණවලට ලක් වු බව අපට ආරංචි විණි. “දෙයියන්ගේ හාල් කෑවාම ඕහොම වෙනවා.” මාගේ මව දැනුත් මා සමගින් පවසයි. ඒ ඇයගේ විශ්වාසය යි. 

කෝවිලේ සිදුවීමෙන් ඔදවැඩුනු සුදා ඇතු`ඵ පිරිසක් දෙමළ වැසියන් විසූ නිවසක් ගිනි තැබීමට පැමිණ ඇති අතර, ඒ මැරයින්ට නොබියව අභියෝග කරමින් සිදුවන්නට ගිය මහා අපරාධයක් වැළක්වූ ‘පේමා අක්කා’ සහ ‘ගොළු මිනිහා’ නැමති දෙදෙනා පිළිබදව මාගේ මව සෙනෙහසින් දැනුඳු මතක් කරනු ලබයි. ඔවුන් නොසිටින්නට එදා ඒ මැරයින් විසින් අහිංසක දරුවන් සමගින් ඒ දෙමළ පවුලම විනාසකර දැමීම ස්ථිරව සිදුවන්නට තිබුණි.

එසේම අප නිවසට තරමක් දුරින් පිහිටි ලැයිම ලෙසින් සැලකු ස්ථානයට කඩා වැදුනු මැර පිරිසක් එම ගෙවල් ගිනි තබන්නට වූ අතර ලැයිම බාරව සිටි ‘රත්නා අයියා’ නැමැති සිංහල මිනිසා එය වැලක්වීමට ප්‍රබල උත්සහයක් දරා තිබේ. නමුත් ඒ සදහා ඔහුට අසල්වැසි බහුතරයකගේ සහායක් නොලැබීම නිසාවෙන් මැර පිරිසට අවනතව බලා සිටීම හැර වෙනත් කිසිවක් කරන්නට ඔහුට ඉඩක් ලැබී නැත. ඒ අවසරයෙන් ලැයිමේ විසූ කසල ශෝධක වෘත්තියේ නිරත වූ අසරණ දෙමළ වැසියන් තිදෙනෙකු මරා දැමූ මැරයින් ඔවුන්ව ගල්වල අසලට රැගෙන විත් ගිනි තබා පුළුස්සා දමා තිබුණි.

එසේම කොහුවල කනත්ත ආසන්නයේ මස් කඩයක් පවත්වාගෙන ගිය දෙමළ කතා කරන මිනිසෙකු මැරයින්ගේ ප්‍රහාර හමුවේ ජීවිතය ගළවා ගැනීමට දිව යද්දි මැරයින් ඔහුගේ පසුපසින් පන්නාගෙන ගොස් ඔහුවද මරා දමා තිබුණි.  

ඉනිඳු නොනැවතුනු ඔවුහු ගල්වල අද්දර කාශ්‍යප මාවතේ කුඩා බෙහෙත් සායනයක් පවත්වාගෙන ගිය දෙමළ වෛද්‍යවරයාගේ සායනයට සහ ඔහුගේ නිවසටද ගිනිතබා විනාශ කර එම වෛද්‍යවරයාවද මරා දමා තිබුණි. එම වෛද්‍යවරයාගේ නම මට මතක නැතැත් ඔහු එදවස දිවා රාත්‍රී නොබලා තමන් වෙත පැමිණි සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ට කාරුණිකව ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයෙක් බවනම් මට හොද හැටි මතකය. අදටත් කෝවිලක් දුටුවිට සහ ගල්වල තිබූ ස්ථානය (වර්තමානයේ ගල්වලක් නොමැත. එයට කුණු දමා ගොඩ කර ඒ මත ගොඩනැගිලි සාදා තිබේ.) අසලින් යනවිට මෙම අතීත අඳුරු සිදුවීම් සුළඟක් සේ හමා ඇවිත් තවමත් මා සිත සසළ කරවයි. 

සුදා වැනි මැරයින් රාශියක් එකල නීතිය තම අතට ගනිමින් පොලු මුගුරුවලින් පැට්‍රොල් බූලියෙන් සිංහල ජාතිය රැකගැනීමට ගෙන ගිය ඒ අශිෂ්ට ප්‍රහාරයන්ට සෘජුව සහ වක්‍රව මුහුණ දුන්නාවු දෙමළ වැසියන් එයට පිළිතුරු ලෙසින් පසුකාලීනව එල්ලකළ ප්‍රතිප්‍රහාරයන්ගේ ශිෂ්ටත්වය සෙවීම කෙතරම් දුරට සාධාරණද? කෙසේ නමුත් එකල සුදා වැනි අශිෂ්ටයින් දෙමළ වැසියන්ව සොය සොයා පීඩනයට පත්කලා සේම පේමා අක්කා, ගොළු මිනිසා සහ රත්නා අයියා වැනි ශිෂ්ට මිනිසුන් කිහිප දෙනෙක්ද එම ම්ලේච්ඡත්වයට එරෙහිව ඔවුනට හැකි පමණින් මැදිහත්ව මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි නමුත් ඔවුන්ගේ නිර්භය මැදිහත් වීමේ ප්‍රතිපල ගඟට කැපු ඉණි ලෙස අපතේ යන්නට වූයේ, අනෙක් බහුතරය ඔවුනට පවුරක් ලෙස සහයට නොපැමිණ දෑත් බැදගෙන කරබාගෙන පසෙකට වී බලා සිටීම නිසාවෙනි.

දෙමළ වැසියන් බහුතරයක් වාසය කළ සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩි වශයෙන් පවත්වාගෙන ගිය වැල්ලවත්ත ගිනිගත් නගරයක්ම වී තිබෙන බවත් කොළඹ නගරයේ තැනින් තැන ජාතිවාදි ගිනිදැල්වලින් දෙමළ වැසියන් සහ ඔවුන්ගේ දේපල විනාශවෙමින් පවතින බවටත් ප්‍රවෘත්ති විවිධාකාරයෙන් ගළායාම නිසාවෙන් ඒ දිනවල රාත්‍රිය සාතන්ගේ රාත්‍රිය ලෙස දැනුන බවට මාගේ මවුපියන් තවමත් අප සමග පවසයි. පැවැති රජය මෙම අශිෂ්ට ප්‍රහාරයේ පිටුපස බළල් අතක් සේ සිටිය බවත් ඇවිලෙන ගින්නට පිදුරු දමන්නා සේ  මේ ම්ලේච්ඡ සංහාරය නිදහසේ සිදුවීමට ඉඩ හැර අතපය හකුළුවාගෙන සිටි බවත් එකල සැමදෙනාම දැනගෙන සිටි ප්‍රසිද්ධ රහසකි.  මැරයින් විසින් තම හිතැඟි රිසිලෙසින් ඉටු කරගත්තායින් පසු රජය විසින් දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.  

එකල ඇඳිරි නීතිය කියන්නේ කුමක්දැයි කියා නිසි වැටහීමක් මා හට නොමැති වුවත් එම කාල සීමාවෙන් ලද විවේක කාලයේදි කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ මාගේ මිත්තණියගේ නිවසට අවශ්‍ය ආහාරපාන රැගත් වේවැල් කූඩය රැගෙන යාමේ ක්‍රියාවට මාහට සම්බන්ධ වීමේ අවස්ථාවක් නම් උදාවිණි. 

එදා ජගත් මාමා රෝස්පාන් ඇතු`ඵ අත්‍යවශ්‍ය ආහාරපාන දැමු වේවැල් කූඩය, තාත්තාගේ ක`ඵ පැහැති හන්වර් පාපැදියේ පිටුපස ලැගේජයේ ගැට ගසා, එහි ඉදරිපස පොල්ලෙහි මාවද හිදුවාගෙන කොහුවල සිට කොල්ලුපිටිය දක්වා පදින්නට විය. අදවන විට මාමාත් සමග බයිසිකලයෙන් මා එදා ගිය ඒ ගමනට වසර තිස්පහක් ඉක්මවා තිබුනත් ජාතිවාදයෙන් ගිණිඇවිළවු ඒ වැල්ලවත්ත ආශ්‍රිත ගිනිගත් නගරයේ සුන්බුන් සහ දුම්රොටු පිළිබද මතක තවමත් මාගේ සිතේ නොමැකී රැදී තිබෙයි. 

වැල්ලවත්තේ කඩ සාප්පු ගිනිබත් වී කළු පැහැ ගැන්වී තිබේ. ඇතැම්හු තවමත් ඒවායේ සුන්බුන් අවුස්සමින් සිටිති. ඔවුන් කොල්ලකරුවන්ද නොඑසේනම් වෙනත් අයවලුන්ද කියා මා නොදනිමි. ඔවුන් අතර මෙරුන් පැහැති ඉරි සහිත සරමක් කැහැපට ගන්වාගෙන බොත්තම් බාගෙට දමාගත් කමිසයකින් සැරසී පොල්ලකුත් අතැතිව සැර පරුෂ ලෙස මොන මොනවාදෝ කියමින් සිටි මිනිසෙක්ව තවමත් මා හට මතකයේ තිබෙන්නේ, අප ඔහුව පසුකළ විටම ජගත් මාමා ඔහු දෙස බලා ‘බූරුවා’ කියා පවසා වඩාත් වේගයෙන් බයිසිකලය පාගන්නට වූ නිසාවෙනි. 

බයිසිකලයේ හැඩලයට බරවී ගාලුපාර දෙපස සුන්බුන් නරඹමින් යන මා කඩා බිද ගිනි තබා ඇති නිවසක් ඉදිරිපිට අළු ගොඩේ සුන්බුන් අතර තරමක් විශාල බෝනික්කෙක් වැනි දෙයක් ගින්නට හසුවී ඇති බව දුටුවෙමි. ඒ දර්ශනය මා ඉමහත් කම්පනයට පත්කරවූ දර්ශනයක්ම විය. ගින්නෙන් පිළිස්සී ඇති බෝනික්කා දුටු මාහට එක්වරම සිහියට ආවේ නිවසේ ඇති බැටි්‍රයෙන් කතා කරන පොඩි අක්කාගේ බෝනික්කායි. ‘අනේ ලස්සන බොනික්කෙක්වත් පුච්චලා’ මගේ හිත මටම කියා ගත් අයුරු මට අදවාගේ මතකය. ඇත්තෙන්ම ඒ සිතුවිල්ල එසේම නොවිණි. එදින හැබෑවටම මා දැක ඇත්තේ ගින්නට හසුව පිළිස්සී ගිය බෝනික්කෙක් නොවේ. ඒ අපේ ප්‍රෞඪ ඉතිහාසය ගැන උදම්වෙමින් මෙරටේ සිටිය යුත්තේ සිහළුන්ම පමණක්මැයි සිතූ ඒ මෘග රැළ විසින් මරා දමන ලද කුඩා දරුවෙකි. ඒ ගැන මා දැන ගත්තේ යළි නිවසට පැමිනි පසු මාමා ඇතු`ඵ වැඩිහිටියෝ ඉතාමත් කම්පාවෙන් යුතුව ඒ පිළිබදව කළ සාක්ච්ඡාව නිසාවෙනි. 

ජාතියක් ලෙස මා විශ්වාස කරන්නේ එකම ජාතියක් පමණි. ඒ මනුස්ස ජාතියයි. එහෙත් කොතෙක් අකැමැති වුවත් මගහැර යා නොහැකි යථාර්ථයට අනුව මාද එක් ජතියකට වර්ගීකරණය වී තිබෙයි. මිනිසා ජාතින් ලෙස කොතරම් අංශුංවලට බෙදී සිටියත් කම් නැත. එහෙත් සවකීය ජාතිය අන් හැම ජාතියකටම වඩා උසස්ය, ප්‍රෞඪ ය, මේ බිමෙහි විසිය යුත්තේ තම ජාතිය පමණකැයි සිතමින් අනෙක් ජාතිය තළා පෙළා දමන්නේ නම් ජාතියක් ලෙස කෙසේ වෙතත් ඔවුන් මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් ලෙස නම් කිසිසෙත්ම සැළකිය නොහැකිය. 1983 ඒ අඳුරු ජූලි මාසයේ මෙරට සිදුවූයේත් එවැනිම වූ මනුෂ්‍යත්වයට තරම් නොවන ම්ලේච්ඡ සිදුවීම් ගොන්නකි. 

1983 ජූලිය අපට වැදගත් වෙන්නේ ඒවා යළි යළිත් ස්මරණය කරමින් පසුතැවීමටවත් ඒ ම්ලේච්ඡත්වයට කර උර දුන් මිනිසුන් කෙරෙහි දැවෙන වෛරයෙන් හා ක්‍රෝධය පුරවාගෙන තවදුරටත් හිදීමට නොවේ. ඉතිහාසයේ එවැනි අඳුරු මතකයක් අද අපට වැදගත් වන්නේ ඉන් අප උගත් පාඩම් ඇසුරින් එවැනි සංහාරයන් කිසිඳු ආකාරයකින් අනාගතයේ යළි ඇති වීම වලක්වා ගැනීමටයි. නමුත් මේ යුගයේ සිදු වූ ඒ නොමිනිස් සිදුවීම්වලට සෘජු වින්දිතයෙක් නොවුන මා හට තවමත් ඒ මතකයන් අඳුරු සිතුවිලි සේ විටින් විට හමා එන්නේ නම්, ඒ ම්ලේච්ඡත්වයට සෘජුව හා වක්‍රව මුහුණ දුන් දෙමළ පුරවැසියන්ගේ සිත් තුළට ඒ සිදුවීම් කෙලෙස නම් පැමිණෙනු ඇත්ද? එබැවින් මිනිසුන් ලෙස අප සියල්ලෝම, ජාතිය මූලික කරගනිමින් දෙමළ ජනතාවට එරෙහිව සිදුකරන ලද ඒ අඳුරු ජූලියේ සිදුවූ මනුෂ්‍යත්වයට නිගාදුන් ම්ලේච්ඡ සංහාරය පිළිබදවත් ඊට යුක්තිය ඉටු නොවීම පිළිබදවත් ලැජ්ජාවට පත්විය යුතු  ය.

✍️ නිලංක ඇලෙක්සැන්ඩර් -

( සහෘදස්පන්දන - 2022 ජූලි - අගෝස්තු කලාපය ) 


Comments