අවසන් හාදුව


වියළි කොළ රොඩු

සුළගට ගසාගෙන යද්දි

කොළ හැළි ගිය ගස් මත්තෙන්

හිරු බැස යද්දි

වයළීනයක තත් 

හුදකළාව පිරිමදින රුවැති කත

දෑස් පියාගත් වනම පිරිමදියි

වයළීනයේ තත්

සෙමින් සෙමින්


සුළගත් සමග

ගසාගෙන පාවීගෙන එන

වරා මල්

පෙඳ පාසියෙන් දුර්වර්ණ වු

සොහොන් කොත් මතට

පතිත වෙයි

මල් වැස්සක් මෙන්


බැස යන මළ හිරුගෙ ලොවේ

සැමතැන රැහැයි කීරි නාද ඇසේ

නොඇසේ මේ කිසිවක් සිතට ඇගේ

කිරි කිරි ගා වයළීනය හඬනු ඇසේ


සුළඟේ ඕංකාරය

උස් පහත් ලෙස

වරින් වර

ආක්‍රමණය කරයි

පාළු සොහොන් බිම


මතුවන දුම්රොටු

කෙමෙන් කෙමෙන්

රූස්ස යායට එපිටින්

ඇඳි සිතුවමක් සේය

අවරගිරින් අත වනනා

රුවක් ලෙසින්


රැහැයි නදින් 

කන් පුපුරයි - තැති ගන්වයි

සීතලයෙන් 

ගත වෙව්ලයි - සිත නළියයි


රූමතියගේ අත

නොරැදේ එක තැන

කිරි කිරි ගා හඬත

වයළීනයේ තත් පට

පාළු දුම්රිය මග දෙස

දෑස් විවර කරගනිමින්

දිගුු සුසුම් හෙළමින්

සීතලයෙන් ගැහෙමින්

බලා සිටියි ඇය එක එල්ලෙන්


ඉනික්බිති...,


එසැනින් නිමේෂයෙන්

පාළු දුම්රිය මගෙන්

මහා හඬ දෙමින්

උණුසුම් දුම්රොටු සමගින්

කනත්ත පාරෙන් දුම්රිය ආයේය


මහා හඬ දීගෙන

මහ පොළොව දෙදරවාගෙන

ඇදී ගිය පසු දුම්රිය

ඇයත් රැගෙන

ඈතට - ඈතින්ම ඈතට

මහා නිහැඬියාවක් විය 

සුන්දර සොහොන් බිමේ

සිප ගත හැකි විය

අමා මහ නිදහස

එම නිහැඬියාවත් සමග


ජීවිතය පමණද සුන්දර ?

නැද්ද මරණය සුන්දර ?


✍️ නිලංක ඇලෙක්සැන්ඩර් 


Comments