අතීශය ඇබ්බැහි වන සුළු කියැවීමක් වූ "අතීශය අභ්‍යන්තර පරීක්ෂණය" සමත්ද? අසමත්ද ?
පරිවර්තන සාහිත්‍යය යනු බහුවිධ සංස්කෘතින් නියොජනය කරන ලෝවැසියන් අතර අන්තර් සංස්කෘතික අත්දැකීම් හුවමාරු කරන අපූරු ක්‍රමවේදයක්. මෙරට අපි සොවියට් සාහිත්‍ය ප්‍රංශකතා, ඉංග්‍රීසි සාහිත්‍යය ආදිය ඇති පදම් ඇසුරු කර ඇතිවාට සැක නොමැත. අසල්වැසි ඉන්දීයාවේ සංස්කෘතික අභාෂයන් ගොනු වුන හිංදි, මලයාලම්, තෙළිඟු සාහිත්‍යයද සැලකිය යුතු තරමින් අපහට ඇසුරු කිරීමට අවස්ථාව හිමිවුවත්, එකම රටක වෙසෙන ප්‍රධානතම ජනවර්ගයවූ මෙරට දෙමළ සාහිත්‍ය පිළිබදව අනෙක් සාහිත්‍යය නිර්මාණවලට සාපේක්ෂව අප තුළ ඇත්තේ ඉතා අඩු ඇසුරක් යැයි මාගේ මතය වේ(මෙය මාගේ අදහසමයි ඇතැමුන්ට මෙය එසේ විය නොහැකිය)
එයට මූලික හේතුව ලෙසින් මාහට පෙනුන දේ වනුයේ, දෙමළ බසින් සාහිත්‍යය කරණයේ නියැලෙන ලේඛකයින්ගේ නිර්මාණ සිංහල බසට පරිවර්තනය වීමේ මන්දොා්ත්සහයයි. දිගු කාලයක් පුරාවට ඇදි ඇදී ගිය එම රික්තකය පුරවාලූ විශිෂ්ට උත්සාහයක් ලෙස ජෙගන් ගනේෂන් විසින් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද "අතීශය අභ්‍යන්තර පරීක්ෂණය" කෙටි කතා සංග්‍රහය ඉදිරිපත් කල හකිය.
ශ්‍රී ලාංකේය ලේඛකයන් විසින් දෙමළ බසින් රචනා කරන ලද එකිනෙකට වෙනස් අත්දැකීම් සහ රචනා ශෛලීනගෙන් සමන්විත කතා අටක් රැගත් මෙම කෙටි කතා සංග්‍රහය එක හුස්මට කියවා දැමූ මා එහි අන්තර්ගතයේ කතා ශෛලිය සමබන්ධයෙන් විශ්මයටත් එහි අත්දැකීම් සම්බන්ධයෙන් ඉමහත් කම්පනයටත් පත්වු බව කිව යුතුමය.
සයන්තන්ගේ "පූරණම්" කියැවු මා යුද්ධය අවසානයේ උතුරේ සංචාරයක නියැලුණු මොහොතේ ඈතින් දුටු මැණික් ෆාම් කදවුරේ සිටි ඒ අසරණ ජීවිත පිළිබද නොදුටු පැතිකඩක් විවර කරවන්නට සමත් කමක් දැක්වීය.
එසේම ශොබා ශක්තිගේ "අතීශය අභ්‍යන්තර පරීක්ෂණය" මා මවිත කරවන්නාක්ම විය. ශොබාගේ ළිදෙන් ගොඩ ආ මිනිසාගේ කම්පිත කතාව ඇසූ මා ජපන් සාහිතයේ විරාජමාන වූ කවබත යසුනරි, අකුතගව රියුනොසුකේ, නත්සුමේ සෝසෙකි වැන්නවුන්ගේ කතා ශෛලිය මතකයට නැගුන බව පැවසීම ඔහු ඉවසනු ඇතැයි සිතමි.
තමිල්නදීගේ "කදු පිටුවහල් වන්නේ නැත" තුළින් කියැවෙන ' සිදම්බරම් ආච්චී' ස්ථානය පිළිබද හුරු පුරුදු හැගීම ( sense of place ) තුළ මුල් බැසගත් ඉපැරැණියන් මරණය තෙක්ම තම උපන්බිම අත්නොහැර සිටීමේ ඒ මානවීය ඇබ්බැහිකම ඉස්මතු කරවන බව මාගේ අදහසයි.
එසේම අවිහිංසක ආසාවන් නිසාවෙන්ම වරදකරුවන් බවට පත්වු අහිංසකයන්ගේ කතාවක් වූ බාක්‍රිෂ්ණන්ගේ "අලියා"ගේ ඇත්ත අත්දැකීම් වින්ද මිනිසුන් මේ ජන සමාජයේ කොතෙක් ඇත්ද?
දාට්චායනීගේ "පරික්ෂාවන්" කතාව හුදෙක් කාන්තාවකගේ අසීරුතාවයක් ගැනම ලියැවුනක් ලෙසම සැලකිය හැකි නොවේ පිරිමියෙකු ලෙසද දකුණේ ජීවත් වූ මා ඇතුලු අතීශය බහුතරයක් ඒ පරීක්ෂණ අත්දැකීම ඇති පමණට විද දරා තිබේ. එබැවින් ඒ කතාව සමගින් මාද ඒ යුගයේ බස් රථයේ නැග ගියාය.
ජේ.කේ විසින රචිත "දෙවිවරුන් නිදනා දේශයක" අත්දැකීම තවමත් අප කම්පනයට පත්කරවයි. ජේ.කේ සියල්ල සගවාගෙන කතාව අවසානය තෙක් ඇයව රැගෙනවිත් අන්තීමට අපේ ඇස් කෙවෙනි බොදකරවයි. ඒ ගැන තවත් කුමක් නම් ලියම්ද?
"මේ බුදුන්ගේ දේශයයි" රචනා කරන ජිෆ්රි එකම රටක වෙසෙනා අප අනෝන්‍ය වශයෙන් දුරස්ථ වීමට බලපෑ එක් ප්‍රධානතම හේතුව ගැන මතුකරන ආකාරය අපූරුය. තරමක හාස්‍යයක් මුසුවී ඇතැයි කියා දැනුනද ඒ හාස්‍යය තුලින් අපි අපටම සිනා නොවෙනවාදැයි කියා මාහට දැනුනේත් මාද එහි නියොජනය කරන ආරියධම්ම හිමිගේ භාෂා කුලකයට වැටෙනා බැවිනි.
චක්‍රවර්තීගේ "මුනිවත රැකීම" මිනිස් මනෝභාවයන් ඒ ඒ යුගයන් තුළ ඒ ඒ වයස් මට්ටම් තුළ හැසිරෙන්නේ කෙසේදැයි කියා අපූරුවට පහදා දෙයි.
මා විසින් ඉහතින් ඉතා සංක්ෂිප්තව ගොනු කරලන්නට උත්සාහ දැරූයේ "අතීශය අභ්‍යන්තර පරීක්ෂණය" කෙටිකතා සංග්‍රහයේ එන ඒ අපූරු කතා අට කියැවු මා රිදවූනු ආකාරයයි. එම රිදැවීම තවකෙකුට හාත්පසින්ම වෙනස් විය හැකියි. (එය එසේ විය යුතුමය)
යුද්ධය අවසන් සාමයෙන් පරිස්සම්වෙයල්ලා යැයි බ්‍රෙෂ්ට් පැවසු බව අසා ඇති. එහෙත් එවැනි නිශ්ක්‍රීය කාලවකවානුවක මෙවැනි අන්තර් සංස්කෘතික සාහිත්‍යයමය හුවමාරු සිදුවන්නේ නම් අපිට බ්‍රෙෂ්ට් ව්‍යංග්‍යාර්ථයෙන් පැවසු සාමයට බියවීමට කිසිදු හේතුවක් නැතැයි මට සිතේ. අතිශය අභ්‍යන්තර පරීක්ෂණය ඒ සංස්කෘතික හුවමාරු පාලම ඉතාම සාර්ථකව සකසා තිබෙයි. එබැවින් අතීශය අභ්‍යන්තර පරීක්ෂණ කෘතිය එම පරීක්ෂණය සමත් වී ඇති බව මාගේ අදහසයි.
✍️ නිලංක ඇලෙක්සැන්ඩර් (Alex )
Comments
Post a Comment