ජෙගන් විචාර ප්‍රතිචාර 02

 

යම් පුද්ගලයෙකුගේ සිතෙහි ඇති දහසකුත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණ ද එම අවස්ථාවේ දී ඒවා ප්‍රකාශ කිරීමට නොහැකි ව ලොප් වීම යනු දැඩි ඛේදවාචකයක් යැයි සිතමි. එවැනි අවස්ථාවකට මම ද අද දිනයේ දී මුහුණ දුන්නෙමි. එම නිසාම මෙම සටහන තැබීමට එය නිමිත්තක් කරගනිමි.

කුංචිතම්බි ජෙගන් සමලේන්ද්‍රන් සහ ජෙගන් ගනේෂන් යනු දෙන්නෙක් නොව එක් අයකි. එහෙත් අප දෙදෙනා අතර වෙනස්කම් කිහිපයක් ද තිබුණි. එනම් ජෙගන් ගනේෂන්ට උත්පත්තිය ගනේෂන් ලබා දුන් අතර කුංචිතම්බි ජෙගන් සමලේන්ද්‍රන්ට උත්පත්තිය ලබා දුන්නේ, නිලංක ඇලෙක්සැන්ඩර් විසිනි.

මේ ජෙගන් ද මා මෙන් සිංහල පාසලක අධ්‍යාපනය ලැබුවේ ය. ආශ්‍රය කළේ සිංහල සමාජයේ යාළු මිත්‍රයන්ව ය. ඔහුට දෙමළ කියවීමටත්, ලිවීමටත්, කතා කිරීමටත් නොහැකි විය. කාලයක් යන තුරු මා ද සිටියේ එලෙස ය. අප දෙදෙනාම දෙමළ ලිවීමටත්, කියවීමටත්, කතා කිරීමටත් පුරුදු වුණේ වෙනම ස්ථානවල දී ය. සිංහල සමාජයකින් ඇති විය හැකි තාඩන පීඩනවලට සහ වෙනස්කම්වලින් ආරක්ෂා වීමේ අරමුණින් ජෙගන් සමලේන්ද්‍රන් ද නමට පමණක් දෙමළ ජාතිකයෙකු ලෙස ජීවත් විය. 

නිලංක විසින් රචිත ජෙගන් නවකතාවේ කතා නායකයා කුංචිතම්බි ජෙගන් සමලේන්ද්‍රන් ය. මෙරට සිටින සාමාන්‍ය වැසියෙකු මෙන් ඔහුට තම දෛනික කටයුතු කරගැනීමට ඔහුට නොහැකි විය. ඔහු ජීවත් වූයේ මරණ, අඳෝනා සතර දෙසින් වැඩි වශයෙන් ඇසුණ අවධියකය. හැඳුනුම්පත් රැගෙන ගිය කාලයක දී මෙන් ම හැඳුනුම්පතෙහි දෙමළ අකුරු දුටු විට එහි අයිතිකරු දෙස සැකපිට බලන ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නානාප්‍රකාර ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදු වන කාල වකවානුවල ජෙගන් ජීවත් විය. මේ වනවිට සිවිල් යුද්ධ අවසන් වී වසර 12 ක් ඉක්මවා ගොස් ඇත. නමුත් දෙමළ ජාතිකයෙකුගේ හැඳුනුම්පතක් අතට ගන්නා ආරක්ෂක නිලධාරීන් දශක කිහිපයකට පෙර එම ජාතිකයා දෙස බැලු ආකාරයේ සැක සහිත බැල්මක් හෙළා නානාප්‍රකාර ප්‍රශ්න ඇසීම යනු ඛේදවාචකයකි. (මීට මාස කිහිපයකට පෙර මා ද එම අත්දැකීමට මුහුණ දුන්නෙමි)

ජෙගන් නව කතාව හරහා නිලංක මෙරට තුළ පැවැති ජාතික ප්‍රශ්නයට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබීමත් විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. එහි දී කළු ජුලිය, 88/89 සහ 2009 යන වසරවල සිදු වූ ඛේදවාචක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම විශේෂත්වයක් ලෙස සලකමි. මෙම අවස්ථා තුන ම එක ම පොතකට රැගෙන ආ පළමු අවස්ථාව ද මෙය විය හැකි යැයි සිතමි. (මා දැනුවත් ව) 

වසර 30කට ආසන්න කාලයක් මෙරට තුළ පැවැති දෙමළ අරගලය මේ වනවිට පරාජය කර වසර 12ක් ගත ව තිබේ. එහෙත් එවැනි අරගලයක් ආරම්භ වීමට මුල් වූ කරුණු කාරණා අදටත් එලෙස ම පවතින බව  මෙහි දී සිහිපත් කළ යුතුය. එයත් නව කතාවේ සමල් සහ මහේෂ් අතර අතරමඟ නවතා දැමු සංවාදයක් ලෙසය. පුද්ගලයින් දෙදෙනෙකු අතර හෝ කණ්ඩායම් දෙකක් අතර මෙලෙස අතරමඟ නවතා දැමු සංවාදය යළි ආරම්භ කළත් එහි අවසානයක් අපට දැක ගත නොහැක. ඇලෙක්ස් එය මනා ලෙස අවබෝධ කරගෙන ඇති ආකාරය ‘වගකිවයුත්තෝ’ නමැති පරිච්ඡේදය කියවීමෙන් තේරුම් ගත හැකිය. එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඇලෙක්ස්ට ප්‍රශංසා කළ යුතුමය. 

මෙහි දී සමල් සහ මහේෂ් යන ධ්‍රැවයන් දෙකක නියෝජනයකි. එසේ නොමැති නම් එකම කඹයක පැති දෙකකි. සිංහල ජාතිකයෙකු වන මහේෂ් දෙමළ අරගලයට පක්ෂ වෙද්දී, දෙමළ ජාතිකයෙකු වන සමල් එසේ නොමැති නම් ජෙගන් ඊට විරුද්ධ වෙයි. මොවුන් දෙදෙනා අතර ඇත්තේ, පරස්පර අදහස්ය. මතවාදිව එක්වීමට නොහැකි මොවුන් දෙදෙනාගේ මිත්‍රත්වය දිගින් දිගට පැවැතුණු ආකාරයක් දැකගත හැකිය. එයත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය තුළ තිබෙන නාමික සංහිඳියාව ලෙස හඳුන්වාදිය හැක. කිසිදු දිනක උතුරේ ජනයාගේ පීඩිතබාවය, ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති, එම ජනයා වෙනුවෙන් හඬ නොනැගු පිරිස් එම අරගලය විග්‍රහ කිරීම යනු හුදෙක් විහිළුවක් පමණය. ජෙගන්ගේ චරිතය තුළින් එවැනි පුද්ගලයින් හට ඇලෙක්ස් ඉතා සියුම් කනේ පහරක් එල්ල කර ඇතැයි මා හට හැඟුණි.

උතුරේ දෙමළ ජනයා සිය පෞද්ගලික රුචිඅරුචිකම් පසෙකලා අරගලයක් අවි දරමින් සිටිය දී, සමල් ලෞකික ජීවිතයක් ගැන සිහින මවමින් සිටින ආකාරය විජී හා ජෙගන් අතර සිදු වන සංවාද සහ සිදුවීම් අතරින් පැහැදිලි වෙයි. විජීගේ චරිතය ඉතා ගුප්ත ය. ඇය සම්බන්ධයෙන් අපට පැහැදිලි රූපයක් මවා ගැනීමට ඇලෙක්ස් ඉඩ දී නැත. විජී ව ඕනෑම කෙනෙකුට තම සිත් සේ කියවා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. 

“අපේ රට කියන්නේ, වීරයෝ මැරිච්ච රටක්. අනාගත වීරයෝ මරාගත්ත රටක්” වීරයෝ යනු සාපේක්ෂ පදයකි. මා හට අනුව තම අනන්‍යතාවයන් සඟවාගෙන මෙරට තුළ ජීවත් වන ජෙගන් වැනි අයත්, තම අනන්‍යතාවය අතහැර තෝරගත්ත පැත්තක් වෙනුවෙන් සටන් කළ මහේෂ් වැනි අයත්, තම මතය වෙනුවෙන් ජීවිතය කැප කළ විජි වැනි අයත් වීරයන් ය. ජාතිවාදය ඔඩුදුවන වර්තමාන සමාජයට සිය පළමු නිර්මාණය ලෙස මෙවැනි ග්‍රන්ථයක් ලබා දුන් ඇලෙක්ස් වැනි අයත් වීරයන් ය. කොපමණ වීරයන් මරා දැමුව ද, වීරත්වය මරා දැමීමට නොහැක යන්න මෙහි අවසානය ලෙස දකිමි.

අවසන් වරට ඇලෙක්ස් වෙනුවෙන් යමක්, මාගේ මතකයට අනුව එක හුස්මට කියවාගෙන ගිය පොත්  ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ ලැයිස්තුවට ජෙගන් ව ද, එක් කරමි.

✍️ ජෙගන් ගනේෂන්



Comments