සත දහයේ කාසියක් සේ ලස්සන ගැහැණිය හෙවත් තක්ෂිලා ස්වර්ණමාලිගේ බීඩි නවකතාව
“බීඩි මිටියක් සහ බජිරි මිටියක් රැගෙන මා වෙත ආ ඈ නික්ම ගිය අයුරු නැරඹීමෙන් පසු ඔබට නොවැදගත් වුවද මාගේ මේ සිදුවීම් පෙළ ලියා තබන්නට හිතුණු හෙයින්”
-බීඩි-
(තක්ෂිලා ස්වර්ණමාලි)
තක්ෂිලා ස්වර්ණමාලිගේ බීඩි නවකතාව කියවු කී දෙනෙක් මේ සටහන කියවන්නන්ට අයත් වේදැයි නොදනිමි. කියවා නැත්තං කියවන්න. හොයා ගන්න අපහසුනම් හොයාගෙන යන්න. එහි නම බීඩි වුවත් හංදියක් හංදියක් ගානේ කඩපිළකින් ඒ බීඩි ගන්න ගන්නා සේ, දකින දකින සෑම පොත් කඩයක නම් මේ බීඩි නම් ගත හැකි යැයි කියා මා නොසිතමි. පොත් යනු අනෙකුත් පාරිභෝජන භාණ්ඩ සේ දකින දකින තැන්වල දැකීමටත්, බලන බලන දෙස පෙනීමටත් තිබිය යුතු යැයි සිතන්නෝට නම් මේ කිව් දේ වහකදුරු වුවාට කම් නැත. මේ ගත වන්නේ ධනේෂ්වරයේ තුන්වන හෝ අවසන් හෝ කුමන කාර්තුවක් වුවද මේ ධනේෂ්වරයයි. ඒ තුළ විකිණීම, විකිණීමට ලක්වීම නොවැලැක්විය හැකිය. නමුත් ඒ තුළ වුවද අප විකිණෙන්නේ කුමක් උදෙසාද, කුමණ අරමුණක් වෙනුවෙන්ද යන්න තීරණය කර ගත හැකි වේ නම් එම විකුණුමේ සීමාව යම්තාක් දුරකට හෝ ලක්ෂ්‍ය කරගත හැකියි.
තක්ෂිලාගේ බීඩි කෘතිය පුරාවටම දිව යන්නේ මිනිස් සබඳතාවන් සහ මේ ආර්ථික ක්‍රමය තුළ ඒවායේ හැසිරුම් රේඛාවන්හි දිශානතීන් තුළ සිදුවන්නා වූ ගැටුම්ය. කතා නායකයා නයනානන්දය එහෙත් ඔහුට ඔහුමදැයි කියාවත් නිසියාකාරයෙන් හදුන්වා දීමට නොහැකිය. ඔහුට උප්පැන්නෙන් ලද නම, ඔහු භාවිතා කරන නම, ඔහු ප්‍රියකරන නම යන මේ ආස්තානයන් අතරේ ඔහු විවිධාකාරයෙන් සැරිසරයි. ඒ සැරිසැරීම් තුළ ඔහු කරා ඇදි එන ප්‍රේමයන් ඔහු පිළිගන්නා ආකාරයත් ඒ ප්‍රේමයන් ඔහුගෙන් බලාපොරොත්තු වන්නා වූ අභිලාෂයනුත් විටෙක ආස්වාදනීයය. විටෙක පරස්පර විරෝධීය. තවත් විටෙක කිසිම තේරුමක්ද නැතිය. මේ තරගකාරි අර්ථ රාටාව තුළ අනවතර වෙහෙසකර ජීවන තුරඟ ධාවනයක යෙදෙන මිනිසුන්ගේ ඇත්ත අභ්‍යන්තරික මනෝභාවයත් මෙයම නොවේද? එනම් මේ අර්ථ ක්‍රමය තුළ සෑම මානව බැඳිමක්ම ව්‍යාජයන්ම වෙයි. ඒවා පවතින්නේ එකිනෙකා සමගින් අන්‍යොන්‍ය ලෙස බැඳී පවතින උපයෝගිතාවයම මතයි. ඒ උපයෝගිතාවය ආර්ථික අවශ්‍යතාවයක්, ආරක්ෂාව, හුදකලාව මකාගැනීම හෝ ලිංගික ආස්ථානයක් පමණක්ම වුව, විය හැකියි. නයනාන්නදගේ ජීවිතයට එන ප්‍රියංවදා, අංජලි, සාරි අඳින ගැහැණිය යන ස්ත්‍රී බැඳිම්ද ඉහත කිවු ලෙසින් ද්‍රව්‍යමය බැඳීම් ලෙසින් ගත හැකිය. එසේම මෙහි එන මැටිල්ඩා හෙවත් නයනානන්දගේ ආච්චි සහ ඇගේ හැසීරීම්, නයානානන්දගේ මව, ලොකු අම්මා, ඔහුගේම තාත්තා සහ තාත්තා. යන චරිත තුළ ඇති අති සංකීර්ණ මනෝභාවයන් වෙතටත් කතුවරිය පාඨකයාව සුක්ෂමව රැගෙන යන ආකාරය විස්මිතය.
එහිදි, කනත්තේ තිබු ඉපැරණි නුග ගසේ අත්තේ ඔහුගේ බාප්පා දහවල් බටනලා ගසන විට පදමට බීමත්ව සිටින ලොකු අම්මා එම නුග ගසේ අත්තේ රාත්‍රිය ගත කරයි. දිනෙක එම නුග ගස ලොකු අම්මාත් සමගින් ඇද වැටී ලොකු අම්මා මිය යන්නේ බෙංගාල බොක්කේ ඇති වූ වරදින් මිස ලොකු අම්මාගේ වරදින් නම් නොවේය.
එසේම නයනානන්දද කමතේ ඇති කදුරු ගහේ ඉහල අවකාශයේ පහස නිතර විඳිමට කැමැතක් දක්වනු ලබන අතර එහි පාමුල ඔහුට ප්‍රථම ප්‍රේමය ප්‍රියංවදා මුණ ගැසී, බීඩි මිටියකින් සහ බජිරි මිටියකින් ප්‍රේමය ප්‍රකාශ කර ගස පාමුල පොඩි වූ බාලොලියා මල් සුවඳ පමණක් මතකයේ ඉතිරි කර ඔහුගෙන් වෙන්ව යයි.
එය අපූරු කදුරු ගසකි. එහි අවකාශයේදි ඔහුට සිදුහත් මුණ ගැසෙයි, රොහණ විජේවීර සහ ජිජැක් පවා ඒ අවකාශය තුළ ඔහුත් සමඟින් බීඩි ගසයි. බිතෝවන් සමඟින් ෆෝඑලීස ගැන කතා කරයි. චූංපාන් කාරයා ෆෝඑලිසව වලෙන් ගොඩ ගන්නා විදිය ගැන සංවාද කරයි. එසේම ගීතද ගයයි ‘මං දැන් ආකාසේ පාවිලා- දෑසින් ඈතකින් වීලා- එනවා නං අහසේ හමු වෙමු අපි- පොළවේ ගනු දෙනු නැතා’
අප බොහෝ නවකතා කෙටි කතා තුළ ඕනෑ තරම් දැක ඇති, කියවා තිබෙන, ඒ රෝමාන්ත ආදර කතාව මෙහි නැත. ඒත් ආදර කතාව ඇත. ඒවා රෝමාන්තික කරනය කරන ලද විලාෂය මෙහි නැත. මේ කතාවේ මිනිසුන් ආදරය කරයි. එය වින්දනයද කරයි. ඒත්, එය ඒ මොහොතට සාපේක්ෂවයි.
සාරි ඇඳගත් දරුවන් සිටින විවාහක කත, දගර වලිග ළප වානරට ආදරය කරයි. දගර වළිග ලප වානර ඇතුලේ සිටිනා නයනානන්ද, සාරි ඇඳි කතට ආදරය කරයි. ඒත්, සාරි ඇදි කත ආදරේ ලෙස විඳින්නේ නයනානන්දවද? නැත. ඇය ආදරේ නයනානන්දගේ පිටතින් සිටිනා දගර වලිග ලප වානරටයි. ඇත්ත පුද්ගල සබදතා යනු මෙයම නොවේද? සාහිත්‍ය තුළින්, සඳැස් තුළින් අනේක විධ තැවැරුම් තුළින් සුවඳ හමන මට සිළුටු ලෙසින් වර නගා ඇති ආදරයේ පිටත සළු පිළි ගළවා එහි සත්‍ය නිරුවත හෙළිකරන සිදුවීම් ගොන්නකින් තක්ෂිලා ස්වර්මාලිගේ බීඩි නවකතාව පිරිපුන්ය.
සාහිත්‍යට මාසයක් හෝ සතියක් අවශ්‍ය නොවේ. එසේ අවශ්‍ය වන්නේ සාහිත්‍යත් වෙළද භාණ්ඩයක් ලෙස දකින වෙළෙන්දන්ට මිස අන්‍යයන්ට නම් නොවේ. එබැවින් එවැනි වෙළද අර්ථ ක්‍රමයක් තුළ පුද්ගල මනෝභාවයන් පිළිබදව මෙවැනි අති සංකීර්ණ ලෙසින් කියැවෙන සහ ලියැවෙන කෘතින් නොදැකීමද? නොපෙන්වීමද? නොදැක්කා සේ සිටීමද? ඛෙදවාචකයක් බව කිව යුතුය.
✍️ නිලංක ඇලෙක්සැන්ඩර් (Alex)
2025 සැප්තැම්බර් 13 දින


Comments
Post a Comment