චෙල්ලයියාගේ ලියුම
මොකක්ද පුතේ නම..,
තෙන්නකෝන් මුදියන්සේලාගේ..,
ආ..., මෙන්න පුතේ
විභාගේ හොදට ලියන්න. ඊළග...,
චෙල්ලයියා..
උඹ දෙමළද කොල්ලෝ ?
ඉදා විබාගේ හොදට කරපං.
චෙල්ලයියා - චෙල්ලයියා
මොකක්ද ඒ නමේ තියෙන වැරැද්ද
අඩෝ දෙමළා හූ...
දෙමළෙක්ව පංති නායක කරන්න එපා ටීචර්.
චෙල්ලයියා - දෙමළා
දෙමළා - චෙල්ලයියා
දෙමළ වචනයකුදු නොදැන
කථන බස ලිඛිත බස කිසිත් නොදැන
නිකම්ම නිකං වාසගමින් පමණක්
මම දෙමළ - චෙල්ලයියා
ගතිමි තීරණය
මුහුණ දීමට
අපහාස හී වැස්සට
මාරුවිණි චෙල්ලයියා
සිංහල නමකට
ඇයි මං වැරදිද ?
ඇල්බට් පෙරේරා
අමරදේව උනා නම්
ඩේවිඩ් හේවාවිතාරණ
ධර්මපාල උනා නම්
ඇයි මට විතරක් බැරි
දහසක් චෙල්ලයියලා
වෙඩි මල් වරුසා සිඹ
මහපොළව වැළද ගනිද්දි
දහසක් චෙල්ලයියා පැටවුන්
මරහඩ දී හඩද්දී
මං ජොලියේ සිටියෙමි
ඇයි මං දැන්
සිංහල.
ඒත් හිතට නෑ කිසි
නිදහසක් - සුවයක්
හැමවේලේම හිත මට කියයි
උඹ දෙමළ - උඹ දෙමළ
දන්නේ නැති නිසයි
මේ අහන්නේ,
කියන්න ටීචර් මං කවුද ?
මීට
චෙල්ලයියා.
Comments
Post a Comment