සියුස්ගේ වෙන් කිරීම සහ ප්‍රියනාත්ගේ ඉරිසියාව

 (ප්‍රියනාත් විදානපතරණගේ ඉරිසියාවේ අත්පොත කෘතිය පිළිබද කෙටි විමංසාවක්)


ආරම්භක යුගයේ මිනිසා වර්තමාන මිනිසා මෙන් නොවීය. ඔහු වනාහී අංගසම්පූර්ණ මිනිසෙකි. ඔහු වර්තමාන මිනිසාට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් උසුලනු ලැබීය. ඔවුන්ට මුහුණු දෙකක්, අත් සතරක්, පාද සතරක් ආදී වශයෙන් වූ අතීශය අංගසම්පූර්ණ ශරීරයක් තිබුණි. එබැවින් ඔවුන් අතිශය බලවත් සේම ශක්ති සම්පන්න මිනිසුන්ම වූහ. ඔවුන්ගේ ලිංගභේදයන් අතරේ පිරිමි-පිරිමි, ගැහැණු-ගැහැණු සේම ගැහැණු-පිරිමි ආදී වශයෙන් වුහ. එම ලිංගභේදයන් සියල්ලම එක් ශරීරයක පිහිටා තිබීම නිසාවෙන් මොවුන් කිසිවකුට නොදෙවෙනි සර්ව සම්පූර්ණ මිනිස් කොට්ඨාෂයක්ම වුහ.

බලය වැඩිවන විට එය භාවිතා කිරීමට මොළය නැති වනවා සේ මොවුන්ද තම අසීමිත බලයෙන් උදම්ව ආඩම්බරකාරීව හැසිරෙමින් ඔලිම්පස් කන්දේ සිටි දෙවියන්ට පවා අභියෝග කිරීමට පටන් ගත්හ. මින් කෝපයට පත්වූ සියුස් දෙවියන් මිනිසාගේ මේ බලය අවම කිරීමට තීරණයක් ගනු ලැබීය. ඒ අනුව සියුස් දෙවියන් විසින් සර්ව සම්පූර්ණ මේ මිනිස් සංහතිය පාලනය කිරීම පහසු වන ලෙසින් ඔවුන්ව දෙපළු කර වෙන් කිරීමට තීරණය කරනු ලැබීය. මෙතැන් පටන් මිනිසා තමන්ගෙන් වෙන්ව දෙපළුව ඈත්ව ගිය තමනට ගැළපෙන ඒ අනෙක් පළුව(අර්ධය) සොයමින් ඉතිහාසය පුරාම අනවතර ජීවිත ගමනක යෙදෙයි. 

ඉහතින් ඉදිරිපත් කරනු ලැබුයේ ප්‍රකට ග්‍රීක මිත්‍යා කතාවක් වන ප්ලේටෝගේ සිම්පෝසියම් නම් කෘතියේ අඩංගුවන කතාවක කොටසකි. 

මෙය මිත්‍යා කතාවකි. එය ප්‍රබන්ධයකි. අප ජීවත් වන මේ සමාජයද ප්‍රබන්ධයකි. මිත්‍යාවෙන් පිරිණු ලෝකයකි. එම නිසාවෙන් අප වඩාත් ඇසීමට, දැකීමට, කියවීමට ප්‍රියතාවයක් දක්වන්නේද මෙවැනි ප්‍රබන්ධවලටය. ප්ලේටෝගේ සිම්පෝසියමේ මේ කතාව ප්‍රබන්ධයක් වුවද එම ප්‍රබන්ධයෙන් ධ්වනිත කරනු ලබන ඒ ස්ත්‍රී පුරුෂ මානව බැඳීම ක්‍රිස්තු පුර්වයට සේම වර්තමානයටත් නොඉපදුන අනාගතයටත් තවමත් වලංගුය. 

එනම් අප සැවොම උපතේ සිට මරණය දක්වාම සර්ව සම්පූර්ණ මිනිසකු වීම උදෙසා අනවතර ගමනක යෙදෙයි. ඒ ගමනේ තම දිවියට ගැළපෙන සැබෑ ආදරයත්, සෝල්මේට් හෙවත් තම ආත්මීය සහකරු හෝ සහකාරීය සොයා යන අනවතර ජීවන ගමනෙත් නිරන්තරයෙන් යෙදෙයි. එහිදි ඔවුනට හමුවන අනෙක් අර්ධය සමඟින් සු`ඵ මොහොතකට ඔවුන් කායිකව බැඳෙයි. දීර්ඝකාලීනව ආත්මීයව බැඳෙයි එලෙසින් එකට එකතු වී සියුස් විසින් තමනගෙන් වෙන් කරන ලද ඒ අනෙක් අර්ධය සොයමින් ජීවිත ගමනේ යෙදෙයි. 

ප්‍රියාත් විදානපතිරණ විසින් රචිත ඔහුගේ අලුත්ම නවකතාව වූ ඉරිසියාවේ අත්පොත කෘතිය කියවු විට මතක් වන්නේද, දැනෙන්නේද, හැඟෙන්නේද සිම්පෝසියමේ ඉහත කතාවයි.

විමංස විවාහකයෙකි. ඔහු විවාහ වී සිටින්නේද ආදර සම්බන්ධයකිනි. සාවින්දි ඔහුගේ බිරිදයි නොහොත් අනෙක් අර්ධයයි. වසර පහලොවක් පුරාවට විමංස ඇයත් සමඟින් අනේකවිධ ආකාර ජීවන සටනේ යෙදෙමින් ඇය සියුස් විසින් බෙදා වෙන්කරන ලද ඇගේ අනෙක් අර්ධයද දැයි සොයා බලයි. කෘතියට අනුව වසර පහලොවක් යනතෙක් ඔහුට සාවින්දි යනු ඔහුගේ අනෙක් අර්ධයයි. එනම් ඇය තමාගේ සෝල්මේට් එකයි. 

නමුත්, 

හදිසියේ මෙන් ඇස ගැටෙන තමාගේන් ශිල්ප හැදෑරීමට පැමිණි යුවතියක වන වින්ඩිගේ හමුව විමංසගේ සිත් සතන් ව්‍යාකූල කරවනු ලබයි. ඒ වින්ඩි යනු සියුස් විසින් වෙන්කර දැමූ තමාගේ අනෙක් අර්ධය යැයි ඔහු ගන්නා ක්ෂණික තීරණය නිසාවෙනි. දඩයක්කාරයකු තම ගොදුර වෙත සූක්ෂමව ළං වන්නා සේ විමංසද වින්ඩි වෙත ළංවෙන්නට උත්සහ දරයි. 

වින්ඩි යනු දෙමාපිය තරවටුව නිසාවෙන් තම ලෝකය සීමාසහිත කරගත් යුවතියකි. ඇය තම ලෝකයේ සීමාවන් ලෙස දකින්නේ තම දෙමාපියන් විසින් පෙන්වා ඇඳ මැන ලබා දුන් සීමාවන් හී සිදුවන දෑ පමණි. ඒ සීමාව තුළ ඇය අත්දුටු සිදුවීම් සමඟින් ලත් ජීවන දැනුම මත ඇය තම ජීවිතය පිළිබදව තීරණ ගනු ලබයි. ඇයටද සියුස් විසින් වෙන් කරන ලද අනෙක් අර්ධය සොයන වෙනත් දඩයක්කරුවන් මුණ ගැසෙයි. රවීෂ සහ තරූෂ යනු ඔවුන්ය.

රවීෂ සහ තරූෂට වඩා විමංස දක්ෂ දඩයක්කරුවෙකි. ඔහු විසින් මීට පෙර දඩයම්කරනු ලැබ වසර පහලොවක් පුරාවට තමා ආසන්නයේ තබාගෙන රැකවරණය ලබාගෙන සිටින තම අනෙක් අර්ධය වූ සාවින්දිගෙන් පවා තමාට ගැළපෙතැයි සිතෙන වෙනත් අර්ධයක් කෙරෙහි තම සිත්හි ආශක්තය යොමුව ඇති බව සඟවාගනු ලබයි? 

මිනිසා ශිෂ්ටාචාර ගත වීමට පෙර සිය`ඵම ගැහැණු සහ පිරීමින් සියල්ලටමත් ඔවුනගෙන් බිහිවු දරුවන් සියල්ලටමත් අයිති යැයි සැළකුණද, ශිෂ්ටාචාරය විසින් මේ සියල්ලම උඩු යටිකුරු කර එක් ගැහැණියක් සහ පිරිමියෙක් වශයෙන් ඔවුනොවුන් බන්ධනයට ලක් කරවනු ලැබිණ. 

ඉහත කී එම ශිෂ්ටාචාරයීය බන්ධනය වින්ඩිට තදින්ම දැනෙයි. ඇය එය විස්වාසද කරයි. විමංස සිටින්නේ තවමත් පූර්ව යුගයේය. ඔහුට අවශ්‍ය තමනගෙන් ගිළිහි ගිය අනෙක් අර්ධය සොයා ගැනීම පමණි. මෙයට මැදිවන සාවින්දි සිටිනුයේ තමා විසින් ගළපා ගනු ලැබු විමංස නැමැති අනෙක් අර්ධය රැකගැනීමේ සටනේය. 

සියුස් විසින් මිනිසාව වෙන් කිරීමට පෙර මිනිසාට ඉරිසියා කරන්නට දෙයක් තිබුනේ නැතිය. අනෙකාත් තමාත් අතර නොගැළපෙන දෙයක් නොතිබීම එයට හේතුවයි. එහෙත් සියුස් විසින් කරන ලද ඒ වෙන්කිරීම නිසාවෙන් මිනිසාගේ සිත් සතන් තුළ ඉරිසියාව, කෝපය, වෛරය යන අඳුරු කඩතුරාවක්ද හටගනු ලැබිණ. 

මේ ඉරිසියාව ප්‍රියනාත්ගේ කෘතියේ විමංස තුළින් ඉවතට පනිනු ලබන්නේ, ඔහු විසින් තීරණය කරනු ලැබු තම නැවුම් අනෙක් අර්ධය හෙවත් වින්ඩි විසින් තමාගේ අනෙක් අර්ධය ලෙසින් තරුෂ නැමැත්තෙක් සොයා ගත් බව පැවසීමත් සමඟිනි. 

මින් ඉන්පසු කුමක් සිදුවන්නට ඇත්ද? කුමක් හෝ සිදුවන්නටම වුවමනාය. එහෙත් ඒ කුමක්දැයි කතුවරයා නිශ්චිතව අපට නොකියයි. එය ගැට`ඵවක් ලෙසින් පෙනුනද, නිශ්චිත අවසාන නැති විවෘත අවසාන ඇති කෘතින් ලොව ඔනෑ තරම් තිබේ. එම නිසාවෙන් ප්‍රියනාත් විදානපතිරණ විසින් රචිත ඉරිසියාවේ අත්පොතද එම විවෘත අවසානයෙන් අවසන් වීම ගැටළුවක් නොවේය. 

මෙහි ප්‍රබල ගැටළු(අඩුපාඩු) ලෙසින් තදින්ම දැනෙන කරුණු අතරින් ගත් කල සාවින්දිගේ අර්ධයට කතුවරයා විසින් ලබා දී ඇති ඉඩකඩ අවම වීම පෙන්වා දිය හැකිය. එලෙසම කතුවරයා විසින් වින්ඩි කෙරෙහි විමංසගේ ඇති ආදරය ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන්නට දරණ උත්සහයද අවම කරගත්තේ නම් වඩාත් සුදුසු යැයි සිතේ. කෘතියක් තවකක් සමඟ සැසදීම නොසුදුසුය. එහෙත් මෙහි කතුවර ප්‍රියනාත්ගේ අනෙකුත් කෘති හා මෙම කෘතිය මදකට සසඳා බැලුවහොත් මෙය ඔහුගේ අනෙකුත් කෘති අතරින් ඉදිරියෙන් තැබිය හැකි කෘතියක් ලෙසින් හැදින්විය හැකිය. 

  

නිලංක ඇලෙක්සැන්ඩර්

2026 සැප්තැම්බර් 24

Comments