අපි කොළඹ
- කිරි කජු වගේ සමීක්ෂණයක් -
“දෙසිය තිස්තුනෙන් හැට හත වී එකෙන් එක. කොහේද ?”
’‘දන්නෑ.”
“මේ වත්ත මොකක්ද ?”
“මාවත්ත”
“හරි මහවත්ත තමා. මට කියන්න මොකක්ද ඔයාලගේ ගෙදර අංකය”
“දන්නෑ මහත්තයෝ.”
දන්නෑ? දන් නෑ.., දන් නෑ. මේ මිනිස්සු මොනාද දන්නෑ දන්නේ. මේ බම්බුවේ සමීක්ෂණයක් නිසා දැන් නං මගේ ඔ`ඵවත් එක්ක අවුල් වෙලා තියෙන්නේ. සේරෝමත් හරි මේ ඇඩ්රස් හොයා ගන්න එකනේ අමාරුම. එක ළග එක ළග ගෙවල් ගෙවල්. ගෙවල් පිට ගෙවල් ගෙවල්. ඒ මැද්දේන් කානු ඒක උඩත් ගෙවල් ගෙවල්. හරියට වංකගිරිය මැද පඹගාල් වැවිලා වගේ.
මෙතරම් අධික ජනගණත්වයක් ඉතාමත් සීමිත බිම් කඩක අවධිමත්ව තනාගෙන ඇති නිවාස තුළ වසර හැට හැත්තෑවකට අධික කාලයක් පුරාවට පරම්පරාගතව කොළඹ ජීවත් වෙයි. එම පරම්පරාවන් දශක ගණනාවක් ඒකාකාරි පොදු ආර්ථික සමාජයීය දේශපාලන සහ සංස්කෘතික ගැටළුවලට මුහුණ දෙමින් එම ගැටළුවලටම පත්තියන් වෙමින් එකම තැනම එකම ලෙසම ජීවත්වීමේ ප්රතිඵලයක් ලෙසින් ඔවුනටම උරුම වූ සහ ඔවුන් විසින්ම ගොඩනගා ගත් උප සංස්කෘතික ලක්ෂණ රාශීයක්ද මේ අධිනාගරික අමුම අමු කොළඹ තුළ දැක ගත හැකියි.
“සර්.., අර ගෙවල් දෙන වැඩේටද ආවේ ? අනේ සර් අපිට කලින් වතාවේ පැට් එකේ ගෙවල් ලැබුනෙත් නෑ. මේ පාර ගාම සේවක මහත්තයාට කිව්වාම උඹලට මොකටද ගෙවල් කියලා අපිව එළව ගත්තා සර්.”
“ගෙවල් දෙන්න ෆ# ? ගෙවල් දෙන්න නෙමේ මෙන්න මේ ආධාර ෆෝම් එකට අවශ්ය තොරතුරු ගන්නයි මං ආවේ.”
“ආධාර? අනේ සර් අපිටත් මොකුත්ම ලැබුනේ නෑ සර්. මේ පැත්තට කිසිම දෙයක් ලැබුනේ නෑ. ඔක්කෝම ආධාර පාරෙන් එහා පැත්තට තමා ලැබෙන්නේ. අපිට මුකුත්ම නෑ. මගේ නමත් ලිස්ට් එකට දාගන්න සර්.”
“මං ආවේ ආධාර බෙදන්න නෙමේ. මං ආවේ ආධාර ඕනේයි කියලා ඔයාලා ඉල්ලුම්පත් දාලා තියෙන ෆෝම්වලට අවශ්ය තොරතුරු ගන්න. ඒ හැමදේකටම කලින් මේ ඇඩ්රස් එක හොයා ගන්න එපැයි.”
“මොකක්ද සර් ඇඩ්ඩස් එක?”
ෆඃෆ.. “දැන් මං කිව්වේ..? දෙසිය තිස්තුනෙන් හැට හත වී එකෙන් එක.”
“මොකක්ද සර් නම.”
“කාගෙද?”
“ඔය ඇඩ්ඩස් එකේ ඉන්න කෙනාගේ.”
“ආහ්.. ම්.. මේ..., සීතාලන් අඩමේෂන් විතානගෙදර.., කියලා කෙනෙක් ?”
මාර නම් තමා අප්පා මේවා. දිව පැටලෙනවා. ඔ`ඵවත් එක්ක අවුල් වෙනවා. ඒත් මොනා කරන්නද? මේ තමා කොළඹ. ඒ තමා කොළඹ සංස්කෘතිය. මිශ්රයි. මිශ්රයි කියන්නේ පත අට එකට සිදෙන ලෙසටම මිශ්රයි. හැබැයි මට මතකයි කාලේකට කලින් කවුද කෙනෙක් කිව්වා අපි ක්ෂුද්ර ජාන තියෙන උං කියලා. ඒ කියන්නේ අමිශ්ර ජන කොට්ටාසයක් කියලා. මං හිතන්නේ ඒක කියපු එකා උතුරු කොළඹ මැද කොළඹ අධි නාගරික වතු ජනාවාසයකට පය තියලාම නැතිව ඇති.
“අඩේ.., සීතාලන් කියන්නේ මංනේ සර්?”
“එහෙනං මෙච්චර වෙලා දන්නෑ වගේ හිටියේ.?”
“ඉතිං සර් මගේ නම කිව්වේ දැන්නේ.?”
“ඉතිං මනුස්සයෝ මං ඔහේගේ ගෙදර ඇඩ්රස් එක කීපාරක් නං කියලා ඇහුවාද?”
“කාටද සර් ගෙවල්වල ඇඩ්ඩස් මතක තියෙන්නේ? අනික අපිට මොන ඇඩ්ඩස්ද සර්?”
“එතකොට දෙසිය තිස්තුනෙන් හැට හත වී එකෙන් එක කියන්නේ ඔහේගේ.., ගේ නෙමේද?”
“මගේ වෙන්න ඇති සර්.”
“වෙන්න ඇති?” ෆ###
“මේ තියෙන්නේ සර් ගෙදර නොම්බරේ. ආ ඔව් දෙසිය තිස්තුන ඇට අත වී එක එක. හරි සර් මේක තමා.”
තමන් ජීවත් වෙන නිවසේ නොම්මර මොකක්ද කියලා නොදන්න මනුස්සයෙක්ගෙන් කොහොමද අප්පා මේ වාගේ බරපතල සමීක්ෂණයට ඕන කරන උත්තර දැන ගන්න ප්රශ්න අහන්නේ? ප්රශ්න නං ඇහුවෑකී ඒත් මේ මනුස්සයා දෙන උත්තර මොන වගේ වේවීද?
‘මෙහෙමයි ඔයාලා හැමෝම ෆීල්ඩ් එකට ගියාම ඒ මිනිස්සුත් එක්ක හැකි තරම් සුහදවෙලා කොහොම හරි නිවැරදිම තොරතුරු ගන්න ඕනේ. බැරි වෙලා වත් වැරදි තොරතුරු මේ ඩේටා බේස් එකට අප්ඩේට් කරලා තිබ්බොත් ඒකේ සම්පූර්ණ වගකීම ගණන් ගන්නා නිළධාරින් වශයෙන් ඔයාලා මතම තමා පැවරෙන්නේ. ඒ නිසා හැකි පමණ වගකීමෙන් කටයුතු කරන්න. අනික අපි ඔයාලට මේ එක නිවසකින් තොරතුරු ගන්නවාට රුපියල් දෙසිය පනහක මුදලක් ගෙවනවා. ඒක අති විශාල මුදලක්. හිතන්න ඔයාලා ගෙවල් දාහක් කලා කියලා එතනම දෙලක්ෂ පනස් දාහක්. අනික මේ මුදල ඔයාලට අනිවාර්යෙන් ගෙවයි කියන පූර්ණ විශ්වාසයත් අපිට තියෙනවා. වැඩිය නෑනේ එක ගෙදරකින් අහන්න තියෙන්නේ ප්රශ්න එකසිය අසූ නමයයි. රුපියල් දෙසිය පනහක් අතේ.’
සමීක්ෂණය ඇරඹීමට ප්රථම ගණන් ගන්නා නිළධාරින්ගේ පුහුණු වැඩසටහනේ නිළධාරියා සීතල කරන ලද කාමරය තුල ටයි පොලු දමාගෙන අත් දිගට කමිසය ඇදගෙන කැරකෙන පුටුවේ හරි බරි ගැසි කරපු ඒ කතාවෙන් එදා උද්දාමයට පත්වෙලා තරගෙට මෙන් සමීක්ෂණ පත්ර අරගත්තු ඒ නිළධාරින්ට දැන් මොනා හිතෙනවාද දන්නෑ. මොකද ඒ අය හැමෝම සමීක්ෂණය කරන්නේ මේ අහල පහල අධි නාගරික වතු සහ පැල්පත් ආශ්රිත වටපිටාවේම මේ වාගේ මිනිස්සුන්ගෙන්ම නිසා ඒ අයත් මේ වෙනකොට මං මේ මූණ දීලා තියෙන ඛෙදවාචකයටම මූණ දීලා ඇති.
“නම කියන්න.”
“කාගෙද?”
“ඔයාගේ නම?”
“දැන් සර් කිව්වේ. ඒ නම තමා මගේ නම.”
“හ්ම්.., හරි..., සීතාලන්. මට කියන්න මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද?”
“මේ ගෙදර සර් ගොඩ දෙනෙක් ඉන්නවා.”
“හරි. මට ඉන්න ගාන කියන්න.”
“මායි පවුලයි. පවුලගේ අම්මයි. දුවයි පවුලයි පවුලගේ තාත්තයි.”
ෆඃ##? “මොකක්ද මොකක්ද? දුවයි පවුලයි පවුලගේ තාත්තයි කිව්වේ. දුව කසාද බැදලා දුවගේ පවුල ගැනද කිව්වේ?”
“නෑ සර් මගේ පවුල ගැන.”
“දැන් එතකොට ඔයයි පවුලයි. ඒ කියන්නේ ඔයාගේ නෝනයි. බබයි...”
“බබෙක් නෑ සර්.’‘
“දැන් කිව්වේ දුවෙක් ගැන. ආහ්.. එයා කසාද බැදපු ලොකු ළමයෙක් එහෙමද?”
“නෑ. සර්.. සර් පටලවාගෙනනේ.”
“අනේ මංදා ඔයාත් එක්ක කතා කරල මට දැන් පිස්සු හැදිලා වගේ.”
“මේ අහන්නකෝ සර්. මමයි. මගේ පවුලයි. එයාගේ අම්මයි. මගේ අනිත් පවුලයි එයාගේ දුවයි එයාගේ තාත්තයි.”
“ඒ කියන්නේ ඔයාට වයිෆ්ලා දෙන්නෙක් ඉන්නවා?”
“ඔව් සර්. පලවෙනි කසාදෙට ළමයි නෑ. ඒ නිසා දන්නැද්ද? දෙවැනියට පට් ගලා සෙට් උනා දැන් තවත් කෙනෙක් ලැබෙන්නත් ඉන්නවා.”
“අනේ මංදා. මට ඒවා අදාල නෑ. හැබැයි මං මේකේ සටහන් කරගන්නේ නීත්යානූකූල විවාහයේ විස්තර විතරයි. දැන් ඔයාගේ පලවෙනි කසාදේ නීතියෙන් දික්කසාද කරලද?”
“නෑ. සර්.”
“එතකොට දෙවැනි කසාදේ.?”
“එයා මාත් එක්ක ඉටියට එයාත් පළවෙනි කසාදෙන් අයින් උං නෑ.”
“හරි එතකොට එතකොට ළමයින්ගේ අයිතිය.”
“අයිතිය වැඩක් නෑනේ සර්. උං කාලා බීලා ඇදලා ඉන්නවානං. ඉතිං අයිතිය කාට ගියත් ගියත් මොකෝ.”
ඒකත් ඇත්ත මානවයා මේ රාමුගත ශිෂ්ටාචාරයෙන් වසා ගන්නට කලින් එක් ගැහැණියක් එක් මිනිහෙකුටත් එක් මිනිහෙක් එක් ගැහැණියකටත් අයිතිය පවරලා දෙන සීමා බන්ධනවලින් ගැටගහලා තිබුනේ නෑනේ, හැබැයි ඒ යුගයේ ඉදන් මානවයා වඳ භාවයට පත් නොවී මේ දක්වාම ප්රජාව බෝකරගෙන වර්ධනය වෙමින් ආවා නං, අහවල් එකකටද දැන් මේ කසාද නීති රීති? කසාද නීති රීති හැදෙන්නේම එකට බැදෙන්නට බලාගෙන ඉන්න දෙන්නාට උනුන් කෙරෙහි ඇති අවිස්වාසය නිසාමයි. ඒකනේ ගෑනි මිනිහාව දාලා ගියාම මිනිහා ගෑනිව දාලා ගියාම දෙපාර්ශවයම සල්ලි වියදම් කරගෙන නඩු හබවලට පැටලෙන්නේ.
“දැන් එතකොට මාසෙකට කෑම බීමවලට කොයි තරං නං වියදං වෙනවද?”
“ඒ කිව්වේ සර්?”
“ඒ කියන්නේ ඔයාලට මාසෙකට කන්න බොන්න කොච්චර සල්ලි යනවද?”
“කවුද සර් ඒවා දන්නේ? අනික මේ අපි පොතේ ලියාගෙන කියාගෙන කන්නේ බොන්නේ නෑනේ. බඩගිනි වුනාම හංදියේ කඩේට ගියා ප්ලෙන්ටියක් වඩේ පාරක් රොටියක් කෑවා. දවල්ටත් ඔය මොනා හරි කෑවා. රෑට නං ඉතිං පාන් තමා.”
“හරි හරි. මං අහන්නේ ඒවට කොයි තරං නං ගානක් යනවද කියලා?”
“දන්නෑ සර්.”
“හරි එහෙනං මෙහෙම කරමු මං මාසෙකට කෑම බීම වියදං තිස්දාහක් විතර දාන්නනං අවුලක් නෑනේ.”
“අවුලක් නෑ සර්. සර්ගේ කැමැත්තක්”
“මගේ කැමැත්ත අකමැත්ත නෙමේ ඔයාලගේ වියදම තමා අපිට දැන ගන්න ඕනේ”
“අප්පේ.. වියදං කියන්නේ සර්. පට්ට වියදං. ලයිට් බිල් වතුර බිල් ටැලිපෝන් බිල් අර බිල් මේ බිල් තව ටික දවසකින් අපිට උස්ම ගන්නවාටත් මුං බිලක් එවයිද දන්නෑ සර්.”
මොනා නැතැත් මේ මනුස්සයා කියන කතාවේ ඇත්තක් නං තියෙනවා. මොකද මේ වෙනකොට මේ රටේ මිනිස්සු වැඩිදෙනෙක්ම මේ විදියේ බිල් ගොන්නකින් යටවෙලා තමා ජීවත් වෙන්නේ. ඇත්තටම ඇයි අපිට මේ තරං බිල්? අපිට ලයිට් නැතිව ඉන්නම බැරිද? වතුර නැතිව නං ඉන්න බෑ තමා. ඒත් ළිදක් තියේ නං ඒ බිලත් නෑනේ. හැබැයි ඉතිං මේ අමු කොළඹ ක්රොන්කීට් වනාන්තරයේ කොහොමද ළිං කපන්නේ. ටෙලිෆෝන් බිල නං ඇත්තටම අපි විසින්ම දාගත්ත බොරු බිලක්ම තමා. ඇයි අපිට ටෙලිෆෝන්? ටෙලිෆෝන් නැතිව මානවයාට ජීවත් වෙන්නම බැරිද?
“සර් එතකොට මං දැන් කිව්ව ඔය වියදං සේරම ගෙවන්න රජයෙන් ආධාරයක් අපිට ලැබෙනවාද?”
“ඊට කලින් කියන්නකෝ ඔයාගේ ආදායම කොහොමද කියලා”
“මොන ආදායංද සර්. සතපහක ආදායමක් නෑ.”
“දැන් එතකොට ඔයා කිව්ව වියදං වල එකතුව මාසෙට රුපියල් පනස් දාහකටත් වැඩීයිනේ.”
“ඔව් සර් මං හිතන්නේ මාසෙට ලක්ෂයක් විතර අපිට වියදං වෙනවා. ඇයි සර් දැන් හාල් පොල් එළවලු මාලු එකට එකක් ගනංනේ. බිත්තරයක්ම කීයක් වෙනවද? ලේසි නෑ අප්පා..,”
“දැන් එතකොට සීතාලන්ට ඔය විදයං වෙන ලක්ෂෙක මුදල ලැබෙන්නේ කොහොමද?”
“ලැබෙන්නේ කියන්නේ? මේහෙමයි ඉතිං. දවසකට ඔය මොනා හරි කූලී මලී ගේමක් දෙකක් ගහලා බඩගෝස්තරේ ෂේප් කරගන්නවා. ඇයි සර්? සර් කියන්නේ අපිට නොකා නොබී ඉන්න කියලද?”
“නෑ නෑ.., මං එහෙම කිව්වේ නෑනේ. ඒ කියන්නේ ඔයාගේ ආදයම් මාර්ගය, ඒ කියන්නේ ඔයාගේ රස්සාව කුලී වැඩ. එහෙමද?”
“ඔව්”
“දවසකට කීයක් විතර හම්බ කරනවද?”
“මේ සර්? අපිට ආධාර දෙන්න ආවා නං ෂේප් එකේ ඒවායේ විස්තර විතරක් අහලා ෂේප් එකේම යනවද? මෙතන නිකං අපි දවසට කීයක් හම්බ කරනවද, අරකද මේකද, අනං මනං අහන්නේ නැතිව.”
“ඒවා අහන්නේ නැතිව කොහොමද අපි තීරණය කරන්නේ ඔයා අඩු ආදායම්ලාභියෙක්ද නැද්ද කියලා.”
“ඇයි සර් නැත්තේ. අපි අඩු ආදයංලාබියෝ තමා සර්. අඩු තියා අපිට හරි හමං ආදයමක් වත් නෑ. දවසේ කුලිය වැඩිම උනොත් තුන්දාහක් හාරදාහක් විතර තමා ලැබෙන්නේ. අනික අපි සර්ලා වගේ මාස් පඩි කාරයොත් නෙමේනේ.”
දවසට තුන්දාහක් හරදහාක්? ඒ කියන්නේ දවසට අවම තුන්දාහ කියලා හිතුවත් මේ මිනිහා දවස් දහයට තිස්දාහක් හම්බ කරනවා. දවස් තිහට රුපියල් අනූදාහක්? යකු මෙච්චර ඉගෙනගෙන උපාධිත් ගහලා රජයේ රස්සාවක් කරන මටත් මාසෙ පඩිය විදියට ලැබෙන්නේ රුපියල් හතිලිස් පන්දාහයි. එකෙනුත් අර ලෝං මේ ලෝං ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් වගේ ඒවා කැපිලා එද්දි අතට ලැබෙන්නේ රුපියල් තිස් දාහක් විතර. දැන් එතකොට අඩු ආදයම්ලාභියා. මූද? මංද?
“දැන් එතකොට කවද්ද සර් අපිට ඔය ආධාරේ ලැබෙන්නේ?”
“ඒක මට හරියටම කියන්න බෑ. මොකද ඔයා විතරක් නෙමේනේ. මේ රටේ ගොඩ දෙනෙක් මේකට ඉල්ලුම් කරලා තියෙනවානේ. ඉතිං ඒ හැමෝගේම විස්තර මේ විදියට අරගෙන ඊට පස්සේ කමිටුවකට දාලා තමා සුදුස්සෝ තෝරන්නේ.”
“අප්පටසිරි සර්. ඒ කියන්නේ. මේ ඉලව්ව වෙන වැඩක් නෙමේ කියන එකනේ. සර් මට ඕක මුලිංම කිව්වා නං මං මෙච්චර වෙලාවක් සර් එක්ක ළගා ගහගෙන ඉන්නේ නෑනේ. මං යනවානේ යන්න.”
“එහෙම කියලා බෑනේ. ඔයා මේකට ඉල්ලුම් කරලා තියෙන නිසා අනිවාර්යෙන්ම ඔයා මේකට තොරතුරු දෙන්න එපැයි.”
“දැන් මං ඕකට විස්තර දුන්නා කියලා මට හෙට අනිද්දාටම ලැබෙන ඉටිගෙඩියකුත් නෑනේ සර්. අපරාදේ මගේ වෙලාව. පැකට් දෙක තුනක් විකුණ ගන්නත් තිබ්බ.”
“පැකට්? ඒ කියන්නේ මූ කුඩු බිස්නස්කාරයෙක්ද? බලන් ගියාම මුගේ කුලි රස්සාව කුඩු විකුණන එකනේ. දැන් එතකොට කුඩු විකුණන උන්ටත් ජීවත් වෙන්න හරි අමාරුයි වගේ. උනුත් ජීවත් වෙන්න රජයෙන් ආධාර ඉල්ලනවා.”
“මං යනවා සර්. සරුත් යන තැනක යන්න.”
“එහෙම බෑ මේකේ අවසාන අධියර විදියට ආධාර ඉල්ලුම්කරුගේ ඡායාරූපයක් ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්න ඕනේ.”
“කාගෙද?”
“ඔයාගේ?”
“මගේ පොටෝ? ඒ මොකටද? මේ මේ සර්. ඕවට එන්න එපා හරී. මං කැමති නෑ මගේ පොටෝ ගහනවට. ඇයි සර්ට කවුරු හරි පොලිසියේ මහත්තයෙක් කිව්වද මේ ලේන් එක රං කරන එකාගේ පොටෝ එකක් ගහගෙන එන්න කියලා.”
‘ඔයාලා ඒ ඉල්ලුම්කරුවන්ගේ නිවරැදි දත්ත විස්තර සේරම අරගත්තාට පස්සේ. ඒ අයට අපි විසින් ලබා දෙන මෙන්න මේ බා කොඩ් එකත් පෙනෙන පරිදි අදාල ඉල්ලුම්කරුගේ පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීම අත්යාවශ්යයි. මොකද එහෙම නොවුනොත් අදාල ඉල්ලුම්කරු පසු කාලීනව චෝදනා කරන්න පුලුවන් ගණන් ගන්නා නිළධාරියකු තමන්ගේ නිවසට ආවේ නෑ කියලා.’
සමීක්ෂණයට පෙරාතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනේ ඉහළ නිළධාරියාට නං ඒ ෆොටෝ එක ගැනීමේ කතාව කිරි කජු කනවා වගේ සරළ සමීකරණයක් වුවත් බිම් මට්ටමේ ගෙයින් ගෙට යාමේදි අප විසින් මුහුණ දෙනු ලබන මේවැනි සුවිශේෂි අවස්ථාවන්වලදි ඒවා ඉටු කිරිම කොයි තරං අපහසු කටයුත්තක්දැයි කියා වචනයෙන් කියා පැහැදිලි කළ නොහැකිය. ඉහළ නිළධාරින්ට නම් කිසිසෙත්ම ඒවා වටහා දීමද පහසු නැත.
“මේ අහන්න සීතාලන් මං කරන්නේ මගේ රාජකාරිය. ඔයා ඒකට බාදා කරන්න එපා.”
“බාදා? කවුද දැන් බාදා කලේ. මං කලේ සර්ගේ රාජකාරියට පුල් සප් එක දුන්න එක. ඒත් සර්නේ මෙතන මගේ පොටෝයි අරවයි මේවයි ගන්න ඇවිත් ලෙන් එකෙන් පිට පැන්නේ.”
“අන්තීමට පොටෝ එකක් ගහන එකත් මේ රාජකාරියේම කොටසක් හලෝ.”
“මේ මේ සර්. නිකං හලෝ බලෝ ටෝක් වනා හරී. මං හැටේ ලේන් එකේ සීතා. කවුරුත් දන්න කුඩු සීතා. අපි හොඳට බොක්කෙන්, නරකට බෙලෙක්කෙන් හරී. ඒ නිසා සරුයි සර්ගේ මේ ආධාරෙයි අරගෙන ෂේප් එකේ මෙතනින් කැපෙන්න. ආයේ මේ හැටේ ලෙන් එකට සර්ගේ ෆේස් කට් එක එන්ටර් වීම තහනම් හරී. තහනම් කියන්නේ සම්පූර්ණයෙන්ම තහනම්.”
‘ඇත්තටම කිව්වොත් ඔයාලා මේ කරන්න සූදානම් වෙන්නේ මේ රටට විසාල සේවයකටත් වඩා මේ රටේ අන්ත අසරණ දුගී මිනිසුන් උදෙසා කරන මහගු පුණ්ය කර්මයක්. නිකමට හිතන්න. පිනකුත් කරගෙන ඒ කරන පිනට සරිලන දීමනාවකුත් ඔයාලට ලැබෙනවා කියන්නේ ඔයාලා කොයි තරං නං වාසනාවත්ත නිළධාරින් පිරිසක්ද කියලා. ඒ නිසා මේ ප්රශ්න එකසිය අසුනමයකින් සමන්විත සමික්ෂණය ඔයාලට ඔයාලගේ රාජකාරි ජීවිතයේ ලැබිච්ච මහා අනර්ඝ අවස්ථාවක් කියලා හිතට ගන්න. හිතට අරගෙන ඒ අනර්ඝ අවස්ථාව පොඩ්ඩක්වත් මග නොහැර නිවරැදිව කරන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව නිමා කරනවා ඔයාලට සුබම සුභ සමීක්ෂණයක්.’
✍️ නිලංක ඇලෙක්සැන්ඩර්


Comments
Post a Comment