මේ ඉතිහාස චක්‍රය බිඳ දමමු
ඉතිහාසය නැවත නැවත සිදුවනවා ද? පෘථිවිය, සඳ, සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ත ග්‍රහ පද්ධතීන් ද ඒවා අයත් අප ක්ෂීර පථය ද චක්‍රයක් නම්, ඉතිහාසය නැවත නැවත සිදුවන්නේය යන කීමේ යම් සත්‍යතාවයක් ද තිබෙන්නට හැකිය. පෙරදිග ආගමික චින්තනයන්ට අනුව සංසාරය ද චක්‍රයක් ලෙසින් සැලකීමට මෙයත් හේතුවක් වන්නට ඇත. මේ සියල්ලට මුල කාලයයි. කාලය යනු අප තවමත් හරි හැටි අධ්‍යයනය කර නොමැති මායාකාරී විශ්මයකි. අප දන්නේ සහ අපට දැනෙන්නේ කාලය ඒක රේඛීයව ගමන් ගන්නා බවයි. අතීතයේ සිට එය අනාගතය දක්වා අනවතර චාරිකාවක නියැලෙයි. මේ අනවතර චාරිකාව රේඛීය නොවී චක්‍රයක් වුවහොත්? මුලින් පැවසූ ඉතිහාසය නැවත නැවතත් සිදු වීම යන ප්‍රශ්නාර්ථයට එමඟින් පිළිතුරක් ලබා ගත හැකිය.
අප දන්නා සහ නොදන්නා ඉතිහාසයක් තිබේ. එය මානවයාගේ බිහි වීමේ සිට මේ දක්වා අප දන්නා නොදන්නා කතාවයි. අප දන්නා කතා ද වර්ග කළ හැකිය. අප ඇසූ දුටු මෑත අතීතය සහ අප කිසිසේත් නොදුටු ඈත අතීතය ලෙසිනි. අප ඇසූ දුටු මෑත අතීතය තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් අපට නිශ්චිත අදහසක් ගත හැකි නමුත්, අප කිසිසේත් නොදුටු ඈත අතීතය තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් අප ලබා ගන්නා සෑම දත්තයක්ම රැඳී පවතින්නේ ඒ යුගයට සාපේක්ෂව ලේඛනාරූඪ වූ සහ අවශේෂ වූ නෂ්ටාවශේෂ ඇසුරිනි.
මෙලෙසින් මානව වර්ගයා ශිෂ්ටාචාරගත වීමත්, ඒ ආශ්‍රිතව ගොඩනංවා ගනු ලැබූ රාජ්‍ය පාලනයන් පිළිබඳවත් ලියැවී ඇති ඉතිරිව පවතින දත්ත දෙස අන්තගාමී නොවී මැදහත්ව බලන විට පැහැදිලිව පෙනී යන්නේ, ඉතිහාසය විසින් අනාගතයෙන් සඟවා තබා ඇති මානව දිවිපැවැත්මේ කෲරත්වයයි.
උදාහරණයක් ලෙසින් රෝම අධිරාජ්‍ය අවධිය ගත්කල, එම යුගයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පයේ, රාජ්‍ය පාලන තන්ත්‍රයේ සහ අනෙකුත් විද්‍යාවන්හි තිබූ දියුණුව පරයමින් අපට දැක ගත හැකි වන්නේ අධර්මිෂ්ඨ මිනිස් වහල් සේවාවයි. එසේම උගතුන් බුද්ධිමතුන් යැයි සැලකූ ප්‍රභූන් බහුතරයකගේ මනදොළ පිනවීම උදෙසා පැවති ග්ලැඩියේටර් සටන්, වහල් සටන් වැනි දෑ මිනිසත්කමට කිසිසේත්නොපෑහෙන කෲර වැඩසටහන් වෙයි. එසේම මේ යුගයන්හි පැවති රාජ්‍ය බලය උදෙසා සිදුකරනු ලැබූ සටන් සේම, ඉන් පරාජය ලැබූවන් වහලුන් ලෙසින් සලකමින් ඔවුන්ව තළා පෙළමින් වද හිංසනයට ලක් කිරීම් මිනිසත්කමට තරම් නොවේ.
මේ යුගයේ සිට ඒ යුගය දෙස බලන විට අපට පෙනෙන ඒ අශීක්ත කෲර සිදුවීම්, ඒ යුගයේ ජීවත් වූ අධිරාජයන්ට, රජුන්ට, උගතුන් බුද්ධිමතුන් ඇතුළු ඒ මිනිසුන්ට නොපෙනුණා ද? නොපෙනුණේ ඔවුන්ගේ බුද්ධියේ ඇති හීනතාවයක් නිසා ද?
ඉතිහාසයේ එක් එක් යුග තුළ තමනට එරෙහිව දියත් වූ පීඩනය දරාගත නොහැකිව ස්පාටකස් වැනි වහලුන් තුළින්ම මතුවූ නායකයින්ගේ ප්‍රබල කැරලි ද? එම කැරලි නිසා අහිමි වූ දහස් ගණන් ජීවිත කොපමණ වන්නට ඇත් ද? එම ජීවිතවල වටිනාකම එම යුගයේ පාලකයින්ට සහ අනෙකුත් දහස් සංඛ්‍යාත මිනිසුන්ට නොදැනුණේ කෙලෙස ද?
වහල් යුගයෙන් මිදී අප අදින් වසර සියයක් පෙරට ගියහොත්, පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය වැනි ලෝක යුද්ධ ඇති වීමත්, දියුණු යැයි සම්මත මිනිසා විසින් මිනිසාවම මරා දමා මර්ධනය කිරීමට තැනූ දරුණු ජනඝාතක නවීන අවිආයුධ දෙස බලන විටත්, ඔවුන් එම ජනඝාතක අවිආයුධ භාවිතා කළ ම්ලේච්ඡ ස්වභාවය දෙස බලන විටත් අපට සිතෙන්නේ කුමක් ද?
මේ සියල්ලගෙන්ම මිදී වර්තමානයට පැමිණ බැලූ විටත් අපට පෙනෙන්නේ කුමක් ද? අපට එදිනෙදා පෙනෙන මේ වර්තමාන සිදුවීම් පිළිබඳව උදම් ඇණිය හැකි ද? මිනිසා ඈත අතීතයේ කඩුවෙන් දුනු ඊතලයෙන් කෲර ලෙස හැසිරුණා සේම, අභ්‍යවකාශය ජයගෙන දියුණුයැයි සම්මත මේ වර්තමානයේ අතිනවීන යුධ උපකරණ නිපදවමින් ජනඝාතන සිදුකරමින් යයි.
මේවා සියල්ල දෙස වර්තමානයේ ජීවත් වන බහුතරයක් ඇස් කන් කට පියාගෙන බලාගෙන සිටියි. ඒ මීට පෙර ඈත අතීතයේ වහල් යුගයේ වහලුන් කෲර වදබන්ධනවලට ලක් වන විට ඊට එරෙහිව හඬ නොනැඟූ, ඊට ඔල්වරසන් දෙමින් බලාසිටි බහුතර ජන සමාජය ලෙසිනි. වර්තමානයේ ජනඝාතක යුද්ධයන්ට මැදිව දිවි අහිමි වූවන්ගේ කඳුළු දෙස බලා සිනාසෙන, ඊට උදම් අනන, ඔල්වරසන් දෙන මිනිසුන් කොපමණ සිටී ද?
වර්තමානයේ සිදුවන මෙම මානව විරෝධී ජනඝාතනවලට එරෙහිව හඬ නඟන සුළුතරයක් සිටිති. ඒ එකල ස්පාටකස් වැනි වහල් නායකයින් සංවිධානගතව පීඩනයට එරෙහිව සටන් වැදුණා ලෙසිනි. නමුත් වර්තමානයේ මෙම ජනසමූහ ඝාතනවලට එරෙහිව හඬ නඟන ප්‍රගතිශීලී බලවේගයන්ට ඇත්තේ තම සටන් පාඨයේ හඬෙහි ප්‍රබලත්වයම පමණි. එය එකල ස්පාටකස් වැන්නවුන් ගෙන ගිය සටනට වඩා ඉතා පහසුවෙන් මර්දනය කළ හැකි සටනකි.
කෙසේ නමුත් මානවයාට ජීවත් විය හැකි මේ විශ්වයේ ඇති එකම යාත්‍රාව වන මේ පෘථිවිතලය රැක ගනු වස් එම ප්‍රගතිශීලී සටන් වැඩි වැඩියෙන් තවදුරටත් සිදු කරලිය යුතුව තිබේ. ඒ ජාතියකට එරෙහිව තවත් ජාතියක් බලසම්පන්න කිරීමට හෝ ආගමකට එරෙහිව තවත් ආගමක් බලසම්පන්න කිරීමට නොවේ. එය සිදුකරලිය යුතුව ඇත්තේ වඩාත් යහපත් අනාගත මිනිස් සමාජයක් උදෙසා ය. එසේම සැමදා සිදු වූ සහ සිදුවෙමින් පවතින, ඉතිහාසයේ නැවත නැවත සිදුවන ඒ චක්‍රීය ක්‍රියාවලිය බිඳ දමනු උදෙසා ය.
නිලංක ඇලෙක්සැන්ඩර්
2026 ජූලි 14


Comments
Post a Comment