දෙමල සටනට ගල් ගසා සේයාරුවට හුරේ දැමීම




මේ ඡායාරූපය පසුගිය දිනවල මුහුණු පොතේ බහුලව හුවමාරු වනු දුටුමි. වැඩිදෙනෙක් මැය ගැන ආදරණීය රොමාන්තික පැසසුම් සේම කිහිප දෙනෙකු විසින් සරල ගැරහීම වන 'කොටියා' ලෙසත් වෙනත් විවිධාකාර අදහස්ද බුකියේ ලියා ඇති බවත් දුටුවෙමි. 

ඒ ඇයි.?  

මේ වන විට අපේ ජනසමාජය පසුගිය ගෝල්ෆේස් අරගලයෙන් මුවහත්ව අනෙකාගේ අයිතීන් සුරැකුනහොත් තමන්ද සුරැකේවි කියා දියුණු පරිවර්තනයනයකට ලක් වී ඇති නිසාද? නැති නම් ආයුධ අතට ගෙන සටන් වැදීම හැර දෙමලාට වෙනත් විකල්පයක් නොමැති වූ බව දැන්වත් තේරුම් ගෙන සිටින නිසාද? 

මගේ පිළිතුර :- නැත. එසේ නොවේය යනුයි.

මැයගේ මෙම ඡයාරූපය පිළිබද මෙතරම් කතාබහක් ඇති කිරීමට හේතු වූයේ මේ කිසිවක් නොව ඡායාරූපයේ දිස්වෙන ඇයගේ ඇති සුන්දර හුරුබුහුටි පෙනුමයි. නොඑසේනම් එම පෙනුමෙන් උත්කර්ෂයට නැංවෙන කාමභෝගී සිතුවිල්ලයි. 

එවන් කාමභෝගී සිතුවිලිවලින් උද්ධාමයට පත් වූ මිනිසුන් මෙදා ඇයව සිතින් රමණය කරමින් සයිබරයේ හුවමාරු කරගන්නා සේම එදා ඔවුන්ගේ ඇදුම් උනා නිර්වස්ත්‍ර කර මේවැනි තරුණියන් දහස් ගණනක් ඔවුන්ගේ භූමියේදිම දූෂණය කර ඝාතනය කර දමන්නටද පසුබට නොවූහ. 

එසේ නොමැතිව  මෙවැනි තරුණියන් ආයුධ අතට ගෙන යුධ වැදුනේ ඔවුනට අහිමි කර දැමූ අයිතීන් උදෙසා යැයි කියා මොහාතකට වත් ඔවුන් එදා සිතුවා නම්, මෙවැණි හුරුබුහුටි සුන්දර තරුණියන් කී දාහක් නම් අද වන විට ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුනා නොවේද ? 

එසේම මෙම ඡායාරූපය දුටුවන් විසින් නගනු ලබන, 'මැයගේ නම කුමක් ද? මැයට සිදු වූයේ කුමක් ද? මැය තවමත් ජීවතුන් අතර සිටිනවා ද?' වැනි ප්‍රශ්න අතිශය නිරර්ථක ය. මැය, පීඩිත ජනවර්ගයක අයිතීන් වෙනුවෙන් සටන් කළ සහ සටන් කරන උතුරේ ගැහැණුන්ගේ තවත් එක් සංකේතයකි. ඇය පිරිමි සම්මුතීන්ට අනුව අසුන්දර වූවා නම් මෙය මෙතරම් බුකියේ සැරිසරන්නේද නැත. පිරිමි ලෝකයක ගොඩනගන ලද සම්මුතීන්ට අනුව ඈ සුන්දර නොවුණා නම් බුකියේ සිංහලයන් ඈ දෙස හැරී බලන්නේද නැත. ඇයගේ සුන්දරත්වය දෙස හැරී බලන්නන්, 'ඇය ආයුධ අතට ගත්තේ ඇයි? ඇය කළ සටනේ අරමුණ කුමක්ද? එම අරමුණ ‌අතිශය සාධාරණ නොවන්නේද?' යන මානයන් දෙස හැරී නොබලති. 'අනේ මෙහෙම ගැහැණු ළමයින්ට කොටි කරපු අපරාදේ' කියනවා විනා, හමුදාව විසින් මෙවන් ගැහැණුන්  දූෂණය කර මරා දැමීම පිළීබඳව සිංහල බහුතරය කතා නොකරති. ඇය නියෝජනය කරන සංවිධානය විසින් කරන ලද මනුෂ්‍ය ඝාතනයන් සිහිපත් කරද්දී, එම ‌සන්නද්ධ දේශපාලන ක්‍රියාමාර්ගයන්ට හේතු වූ කරුණු දෙස හැරී නොබලති. සිංහල ජන සමාජයේ බහුතරය, ඔවුන්ගේ ම සාමාජිකාවක වන ප්‍රේමවතී මනම්පේරිගේ ඝාතනය දෙස බලන්නේ ද 'ඇය රූප සුන්දරියක්' වූ බැවිනි. එහෙත් දෙමළ සමාජයට ඉසයිප්‍රියාගේ දිවි පිදීම මෙන්ම උෂාලිනීගේ දිවි පිදීම ද එකලෙසම වටින්නේය.

✍️ නිලංක ඇලෙක්සැන්ඩර්

2023 පෙබරවාරි 

Comments